ඡන්ද ප්‍රතිඵල මන්ද පමා ?

පෙබ 11, 2024

    ‍පකිස්තාන මහ මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නොමැති බැවින්, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට සිදුවන ප්‍රමාදයට එරෙහිව, රට පුරා විරෝධතා මතුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

    මේ අතර පැහැදිලි බහුතරයක් නොමැති වුවද හිටපු පකිස්තාන අගමැතිවරුන් වන, ඉම්රාන් ඛාන් සහ නවාස් ශරීෆ් යන දෙදෙනාම සිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ප්‍රකාශ කරන බව සඳහන්.

    මෙවර පකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵලවල පැහැදිලි බහුතරයක් නොමැතිවීම හමුවේ, ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනෙකු වන පකිස්තාන මුස්ලිම් ලීගයේ හිටපු අගමැති නවාස් ශරීෆ් සහ PTI පක්ෂයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින්, සිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා.

    මෙවැනි පසුබිමක් තුළ පකිස්තානය මේ වනවිට දේශපාලනික වශයෙන් අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට මුහුණපාමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මෙවර මැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය තවමත් නිකුත් වී නොමැති බව, එම මාධ්‍ය සඳහන් කරනවා.

     

    පකිස්තාන මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නවතම ඡන්ද ප්‍රතිඵලවලට අනුව, බන්ධනාගාරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ සහය ලබන ස්වාධීන අපේක්‍ෂකයින්, මේ වනවිට ආසන 102 ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටිනවා.  

    හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ මුස්ලිම් ලීගය, ආසන 73 ක් දිනාගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන බව සඳහන්. බිලාවල් භූතෝ සර්දාරිගේ පකිස්තාන ජනතා පක්ෂයට, ආසන 54 ක් හිමිව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර මහ මැතිවරණය පකිස්තාන ඉතිහාස‍යේ වඩාත් මතභේදාත්මක මැතිවරණය වියහැකි බවයි.

    Latest News