චීන වසන්ත උත්සව ජනතා සංස්කෘතික මංගල්‍යය අද උදාවෙයි

පෙබ 09, 2024

    චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි.

    චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. මෙම වසන්ත උත්සව ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් වසන්ත උත්සව ප්‍රසංගයට ද ගෝලීය වැදගත්කමක් ලබා දී තිබේ. 

    1983 වසරේ සිට, චීනයේ ජාතික රූපවාහිනී සේවය වන CCTV නාලිකාව, සෑම චීන සාම්ප්‍රදායික නව වසරක් උදාවන අවස්ථාවේ මෙම මහා කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය චීන ජනතාව හදවතින්ම රසවිඳින මහා සංස්කෘතික මංගල්‍යයකි. ඩම්ප්ලිං සෑදීම සහ වසන්ත උත්සව කවි පද ඇලවීම වැනි සාම්ප්‍රදායික වසන්ත උත්සව චාරිත්‍ර අතරට පවුලේ සියලු දෙනාම එකට වාඩි වී වසන්ත උත්සව ප්‍රසංගය නැරඹීමේ සිරිත ද ක්‍රමයෙන් ඇතුළත් ව තිබේ. වසන්ත උත්සව ප්‍රසංගය වැඩසටහන් අන්තර්ගතය, ඉදිරිපත් කිරීම සහ තාක්ෂණික ක්‍රමවේද අතින් චීන රූපවාහිනී විචිත්‍රාංගයන් හි ඉහළම මට්ටම පිළිබිඹු කරයි.

    2024 වසන්ත උත්සව ප්‍රසංගය වචනයේ පරිසමාප්ත අරුතින්ම ජනතාවගේම උළෙලකි. චීනයේ සෑම තරාතිරමකම ජනතාව මෙම ප්‍රසංගයේ ප්‍රධාන චරිත බවට පත්ව සිටීම කැපීපෙනේ. නූඩ්ල්ස් සූපවේදීන්, විශ්‍රාමික කාර්මික ශිල්පීන්, පොලිස් නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැනි සාමාන්‍ය ජනතාව තමන්ටම අනන්‍ය වූ විවිධ කතන්දර රැගෙන වසන්ත උත්සව ප්‍රසංග වේදිකාවට පැමිණීම විශේෂත්වයකි. නවයුගය සතු නැවුම් ජීවයෙන් පිරි එම ප්‍රසංගය, වඩා යහපත් ජීවිතයක් වෙනුවෙන් චීන ජනතාවගේ නිරන්තර ප්‍රාර්ථනය අර්ථකථනය කරයි.

    අද (9) රාත්‍රියේ රටවල් 49 ක, නගර 90 ක, 3000 කට අධික පොදු ඩිජිටල් තිරවල මෙම සුවිශේෂ ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකිය. ලොව පුරා ප්‍රේක්ෂකයන් චීන වසන්ත උත්සවයේ සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය සහිත මේ මහා සංස්කෘතික මංගල්‍යයේ රසය ද අත්විඳිමින්, උද්යෝගිමත් ව නව වසර පිළිගනු ඇත.

    Latest News