ජීවිත දේපළ රැසක් අහිමි කළ ජපාන භූ කම්පනය

ජන 02, 2024

    ජපානයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 48 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නිවාස සහ ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව ඇති බවයි. 

    වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන දහස් ගණනක් ජනතා සුනාමි ආරක්‍ෂක මධ්‍යස්ථානවල රාත්‍රිය ගත කර තිබෙන බවයි, මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. තවදුරටත් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නොමැති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා. 

    2011 න් පසු ජපානයෙන් වාර්තා වූ පළමු,  ප්‍රධාන සුනාමි අනතුරු ඇඟවීම මෙයයි. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසන්නේ, භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ක්‍රියා කරන බවයි.

    ජපානයේ ආරක්ෂක බළකායේ සාමාජිකයින් දහසක් පමණ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වී සිටින බව, ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. නගර කිහිපයක කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන්වලට පුද්ගලයින් සිරවී සිටින බවයි, ජපාන ගලවාගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

    ජපන් හමුදාව ආරක්‍ෂිත ස්ථානවල සිටින ජනතාවට ආහාර, ජලය සහ බ්ලැන්කට් ලබා දී තිබෙනවා. භූ කම්පනයේ  හේතුවෙන් නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බවයි, ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර කරන්නේ.

    ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා ඇති අතර, නැගෙනහිර ජපාන දුම්රිය සේවාවන්හි මෙහෙයුම් නතර කිරීමට බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. භූමිකම්පාව පිළිබඳ තොරතුරු සැලවීමත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ජපානයට සහය වීමට සුදානම් බව, ප්‍රකාශ කර තිබෙනවා.

    ජපාන ජනතාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 ජනවාරි 2024 20:06

    Latest News