ප්‍රංශ ජනපතිගේ සංවේදී ඉල්ලීම

දෙසැ 03, 2023

    ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට සිදු කරන ප්‍රහාර වේගවත් කර ඇති බව, වාර්තා වනවා.

    හමාස් දේශපාලන කාර්යාලය සඳහන් කරන්නේ, ඊශ්‍රායල ප්‍රහාර අවසන් වනතෙක් ප්‍රාණ ඇපකරුවන් හා සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදු නොවන බවයි.

    හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමෙහි කොන්දේසි උල්ලංඝනය කළ බව පවසමින්, ඊශ්‍රායලය සාකච්ඡා සඳහා කටාර් රාජ්‍ය වෙත පැමිණ සිටි මොසාඩ් නියෝජිතයින් ඉන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවත් සමග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට පැමිණ තිබෙනවා. එහිදී, ප්‍රංශ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, ගාසා තීරයේ කල්පවත්නා සටන් විරාමයක් සඳහා කඩිනමින් ක්‍රියා කරන ලෙසයි.

    ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහි ජනතාව පවසන්නේ, යුද ගැටුම් ආරම්භ වූදා සිට ඊශ්‍රායලයෙන් මෙතෙක් එල්ල වූ දරුණුතම ප්‍රහාර මෙය බවයි. නගරයේ නැගෙනහිර ප්‍රදේශවල සිටින සිවිල් වැසියන්ට එහි දකුණු දෙසට ඉවත්ව යන ලෙස, ඊශ්‍රායල හමුදාව දැනුම් දෙනවා.

    හමාස් සංවිධානයේ ඇතැම් ප්‍රධානීන් උතුරු ගාසා තීරයෙන් පලා ගොස් එම නගරයේ සිවිල් වැසියන් වැඩි පිරිසක් නවාතැන් ගෙන සිටින ස්ථානවල සැඟව සිටින බවට, ඊශ්‍රායල හමුදාව සැක කරනවා. ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඊශ්‍රායලයේ නවතම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 193 දෙනෙකු මිය ගොස් ඇති බවයි. ගාසා තීරයේ විවෘතව පවතින රෝහල්, තුවාල ලැබූ දරුවන්ගෙන් පිරී ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News