ගාසා රකුසාට තවත් පුංචි මල් කැකුළු කීයක්නම් බිලි වෙයිද?

නොවැ 23, 2023
    මේ වන විට ළමයින් සඳහා ලොව භයානකම ස්ථානය ගාසා තීරය බව, ළමුන් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කරනවා.
    එහි විධායක අධ්‍යක්‍ෂිකා කැතරින් රසෙල් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂිත කවුන්සිලයට පෙන්වා දී ඇත්තේ, යුද්ධය හේතුවෙන් ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ ළමුන් 5,300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
    එය යුද්ධය හේතුවෙන් ලොව මෙතෙක් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 40 ක්. තවත් ළමුන් 1,200 ක් පමණ කඩා වැටුණු සුන්බුන් අතර සිරවී සිටින බවද, යුනිසෙෆ් ආයතනය පවසනවා.
    ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දුෂ්කර කෙටි කාලීන සටන් විරාම ගිවිසුම දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි, රසෙල් මහත්මිය පෙන්වා දෙන්නේ. එබැවින් මෙම මිනිස් සන්හාරය වහාම නවතා දැමීමට මානුෂීය සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව, ඇය අවධාරණය කරනවා.
    යුනිසෙෆ් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ දරුවන් මුහුණ පා ඇති උග්‍ර මන්දපෝෂණ තත්වය ඉදිරි මාස කිහිපය තුළ සියයට 30 කින් ඉහළ යා හැකි බවයි.

    Latest News