චීන - ඇමරිකානු ජනපතිවරු හමුවෙති

නොවැ 16, 2023

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි.

    ඒ, ඇමරිකානු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී ය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා බාලි දූපතේ දී හමු වී මේ වනවිට වසරක් ගෙවී ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. ගෙවී ගිය වසර තුළ, බොහෝ දේ සිදුවිය. කොවිඩ් වසංගතයෙන් ලෝකය ප්‍රකෘතිමත් වී ඇතත්, වසංගතයෙන් එල්ල වූ බලපෑම් තවමත් පවතී.

    ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද එහි ගම්‍යතාව ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට බාධා එල්ල වී ඇති අතර, ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම ද කැපී පෙනේ. ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකානු සබඳතාව, ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරෙන් වේගයෙන් වෙනස් වූ ලෝක ස්වභාවයන් සලකා යළි සැලසුම් කළ යුතුය.

    එමෙන්ම, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතර ම, මානව දියුණුව වෙනුවෙන් වගකිව යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. ගෙවී ගිය වසර 50 කට වැඩි කාලය තුළ, වරින් වර ප්‍රශ්න රැසක් මතු වුව ද චීන- ඇමරිකානු සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ද ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් සබඳතා නොපැවැත්වීම සිදු විය නොහැකි දෙයක් වන අතර, එක් රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ.

    එසේම එකිනෙකා ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය. චීන ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වාදුන්නේ, ප්‍රබල රටවල් අතර තරඟය නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය. චීනයේ හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී.

    දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවන් ලෙස සැලකිය හැකි බව ද හෙතෙම පැවසීය. ‌‌‌ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් පවතී. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ ලබාගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරට සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බවට ද ෂී ජින්පිං මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

    ඇමරිකානු-චීන සම්බන්ධතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් බවත්, ස්ථාවර ව සංවර්ධනය වන චීනයක් ඇමරිකාවට හා ලෝකයට යහපතක් රැගෙන එන බවත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. දෙරට අතර ගැටුම් මතුවීමට ඉඩකඩ තිබුණ ද එය වළක්වා ගත හැකි ය.

    බාලි දූපතේ හමුවේ දී තමා ලබාදුන් ප්‍රතිඥා අකුරටම පිළිපදින බව ‍ජෝ බයිඩන් ජනාධිපතිවරයා යළි ප්‍රකාශ කළේ ය. නව සීතල යුද්ධයක් ආරම්භ නොකිරීම, චීනයේ ක්‍රමය වෙනස් නොකිරීම, සන්ධානගත සම්බන්ධතා යොදාගනිමින් චීනය මර්දනය නොකිරීම, තායිවානයේ ස්වාධීනත්වයට සහය නොදීම සහ චීනය සමග හිතාමතා ගැටුම් ඇතිකර නොගැනීම එම පොරොන්දු අතර ප්‍රධාන වේ. 

    අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය පදනම් කරගෙන විධිමත් සම්බන්ධීකරණයක් පවත්වමින් පොදු යහපත පවතින ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා පැවැත්වීමටත්, පවතින මතභේද සමනය කරමින් තරගකාරී සාධක වගකීම් සහගතව පාලනය කිරීමටත්, විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා හා සංවාද තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් එහිදී නායක දෙපළ එකඟ වූහ. දෙරට දේශගුණ විපර්යාස අර්බුදයට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව විවිධ සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.  

    මෙම හමුවෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරු දෙපළ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ෆිලෝලි වතුයායේ ඇවිදිමින් සුහද පිළිසඳරක ද නිරත වූහ.

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News