අපි රෝහලට ගැහුවෙ නෑ

නොවැ 12, 2023

    ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලට ප්‍රහාර දියත් කළ බවට එල්ල වන සියලු චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

    එහෙත්, එම රෝහල ආශ්‍රිත ප්‍රදේශයේ හමාස් සංවිධානය සමග දරුණු සටහන් ක්‍රියාත්මක බවයි, එම හමුදාව පිළිගෙන තිබෙනවා.

    ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට යටින් පිහිටි උමං මාර්ගවල සිට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල හමුදාව විසින් හමාස් සංවිධානය වෙත යළි චෝදනා කරනවා. එහෙත්, හමාස් සංවිධානය එම චෝදනාව තවදුරටත් ප්‍රතික්ෂේප කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    රෝහලෙහි ජලය, ආහාර සහ විදුලිය ඇතුළු පහසුකම් මේ වන විට අවසන්ව ඇති බව, එම මාධ්‍ය සඳහන් කරනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් රෝහල්හි දැඩි සත්කාර ඒකකයට හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාව පවසන්නේ, අල් ෂිෆා රෝහලෙහි රැඳී සිටින සිවිල් වැසියන්ට ඉවත් වීම සඳහා මානුෂීය කොරිඩෝවක් ස්ථාපනය කර ඇති බවයි.

    එමෙන්ම, එහි සිටින රෝගීන් මෙන්ම, ළදරුවන් ආරක්ෂිත ලෙස වෙනත් රෝහලක් වෙත ඉවත් කිරීම සඳහා සිය සහය ලබා දෙන බවද, ඊශ්‍රායල හමුදාව කියා සිටිනවා.

    අල් ෂිෆා රෝහලෙහි වෛද්‍යවරුන් පවසන්නේ රෝහලට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ අතර, අල් ෂිෆා රෝහල සමග සියලු සන්නිවේදන සබඳතා මේ වන විට ඇනහිට ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ රෝහල් ආශ්‍රිත ප්‍රදේශවල සිය ප්‍රහාර තීව්‍ර කිරීමත් සමග එහි රෝහල් කිහිපයකටම සෘජුවම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

    රෝහල් කිහිපයකම මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බැවින්, අල් ෂිෆා රෝහලේ නොමේරූ ළදරුවන් 37 දෙනෙකු ඇතුළු සිය ගණනක් රෝගීන් දැඩි අවදානමකට ලක්ව සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.

    Latest News