ලක්ෂ 03ක් අවතැන්වූ සෝමාලියානු ගංවතුර

නොවැ 11, 2023

    සෝමාලියාවේ මිලියන 1.6 කට වැඩි ජනතාවක් අධික වර්ෂාවෙන් පීඩාවට පත් විය හැකි බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

    සෝමාලියානු බලධාරීන් පවසන්නේ, අයහපත් කාලගුණය හේතුවෙන්, පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස්, 300,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි. සෝමාලියාව සහ නැගෙනහිර අප්‍රිකාවේ අසල්වැසි රටවල් ඔක්තෝම්බර් මුල සිට අධික වර්ෂාපතනයෙන් පීඩා විඳිනවා. මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පැවසුවේ, දේශගුණික සංසිද්ධි දෙකක ඒකාබද්ධ බලපෑම, මෙම අධික වර්ෂාවට හේතුවී ඇති බවයි. එල් නිනෝ සහ ඉන්දියානු සාගර ඩයිපෝල් යන සංසිද්ධි වල ඒකාබද්ධ බලපෑම හේතුවෙන්, සෝමාලියාවේ හෙක්ටයාර මිලියන 1.5ක් පමණ ගොවිබිම් අධික වර්ෂාවෙන් විනාශ විය හැකි බවයි වාර්තා වන්නේ.

     

    දැනට පවතින එල් නිනෝ සමඟ සම්බන්ධ වූ ආන්තික කාලගුණය සෝමාලියාවේ සහ අප්‍රිකානු කලාපයේ බොහෝ ස්ථානවල අවදානමට ලක්ව ඇති ජනතාවගේ මානුෂීය අවශ්‍යතා තවදුරටත් ඉහළ නැංවීමේ අවදානමක් ඇති බව, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකාරක මාර්ටින් ග්‍රිෆිත්ස් පවසනවා. අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන්, මහා මාර්ගවලට හානි සිදුව ඇති නිසා මුදාගැනීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවයි, සෝමාලියානු බලධාරීන් පවසන්නේ. පසුගිය නියඟය හේතුවෙන්, අවතැන් වූ ජනතාව සඳහා ඉදි කරනලද කඳවුරු ද ගංවතුරෙන් යටවී තිබෙනවා. දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් ලෙස සෝමාලියාව සලකනු ලබන අතර, දශක හතරක් තුළ එහි දරුණුතම නියඟයෙන් මිදීමෙන් පසු එරටට අධික වර්ෂාවක් ඇදහැලමින් තිබෙනවා.

    Latest News