පණ බේරගන්න පැය 4ක්

නොවැ 10, 2023
    උතුරු ගාසා තීරයේ දෛනිකව පැය 4 ක කාලයක් ප්රහාර නැවැත්වීමේ ක්රියාමාර්ගයකට ඊශ්රායලය එකඟවී ඇතැයි අමෙරිකාව පවසනවා. ධවල මන්දිරය ප්රකාශ කරන්නේ, එමගින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිතව ඉන් ඉවත්ව යාමට අවස්ථාව සැලසෙන බවයි.

    ඊශ්රායල අග්රාමාත්යවරයා සමග සති කිහිපයක් පැවති සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

    ඒ අනුව, දෛනිකව පැය 4 ක සටන් විරාමය අතරතුර ගාසා තීරයට ආධාර සපයන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට හැකි බව ජනාධිපති බයිඩන් කියා සිටිනවා. මීට පෙර ඊශ්රායලය කිසිදු සටන් විරාමයකට එකඟතාව පළ කළේ නැහැ.
     
    පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ගැටුම් හමුවේ ගාසා තීරයේ තත්වය අතිශයින් දරුණු වන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් 99 දෙනෙකු මේ වන විට ගාසා ගැටුම්වලින් ඝාතනයට ලක්ව තිබෙනවා.
     
    ගාසාහී රෝහල් දෙකක් ආශ්රිතව ඊයේ ගැටුම් උත්සන්න වූ බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්. අල් ෂිෆා රෝහලේ නේවාසිකව සිටින රෝගීන් සහ අවතැන්වූ පලස්තීනුවන් දහස් ගණනක් දැඩි අවදානමක පසුවන බව හියුමන්රයිට්ස් වොච් රාජ්ය නොවන සංවිධානය පෙන්වා දෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය පවසන්නේ, ඉකුත් පැය 24 තුළ ඊශ්රායල යුද ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 243 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

    Latest News