බංගලියන් පැරදවූ සිංහයින්

සැප් 01, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉනිම ආරම්භ කළේ, මොහොමඩ් නයිම් සහ ඉන්සිඩ් හසන්. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 04ක් වන විට හසන් ලකුණු නොලබා දැවී ගියා. මොහොමඩ් නයිම් ලකුණු 16යි. නායක ශකීබ් අල් හසන් ලකුණු 05යි. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නජ්මුල් හොසේන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 89ක්. ඔවුන්ගේ ඉනිමේ ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ, පිතිකරුවන් සිව්දෙනෙකු පමණක්වීම විශේෂත්වයක්. බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩයකයින් පන්දුවාර 42යි පන්දු 04කදී දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තරග 11 කදී ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු පිතිකරුවන් දවා ගැනීමට සමත් වූ අතර, එය එක් දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් අඛණ්ඩව සිදු කළ පළමු අවස්ථාව මෙයයි.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04ක් දවා ගත්තා. ඔහු තම එක් දින ක්‍රිකට් දිවියේ වාර්තාකළ හොඳම පන්දු යැවීම මෙයයි. මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් බිඳ හෙලුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වුණා. චරිත් අසලංක නොදැවී ලකුණුඅ 62 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 54 ක් රැස් කළා. ශ්‍රී ලංකාව එක් දින තරගයක් අඛණ්ඩව ජයගත් 11 වැනි අවස්ථාව මෙයයි. තරගයේදී වීරයා මතීෂ පතිරණ.

    Latest News