ජයපිට ජය ගන්නා යුක්‍රේනයින්

අගෝ 31, 2023

    යුක්‍රේන හමුදාව, දකුණු පෙරමුණේ සිදුවූ සටන්වලින් මෑත කාලීනව ජයග්‍රහණ කිහිපයක් අත්කර ගෙන ඇති බව, එරට විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, තමා එය දකින්නේ, රුසියාව ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපය යළි යුක්‍රේනයට අත්පත් කරගැනීමට මග විවර වීමක් ලෙසයි.

    සැපොරිෂියා කලාපයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ගම්මානයක් මුදා ගැනිමට හැකිවූ බව, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා පවසනවා. යුක්‍රේන බුද්ධි තොරතුරු සහ ඉදිරිපෙළ හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් තොරතුවලට අනුව තම සොල්දාදුවන් තවමත් එම ගම්මානයේ සිටින බවයි, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. 2014 වසරේදී රුසියාව ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳාගත් අතර, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා, පැරීසියේ පැවති ප්‍රංශ තානාපතිවරුන්ගේ රැස්වීමකදී සඳහන් කළේ, සිය හමුදාව දකුණු පෙරමුණේ අත්කරගත් ජයග්‍රහණ මගින් ක්‍රිමියාවේ පරිපාලන දේශසීමා වෙත මාර්ගය විවර වන බවයි. ජූනි මාසයේ ආරම්භ කළ යුක්‍රේන ප්‍රති-ප්‍රහාරය අඛණ්ඩව සිදු කෙරෙමින් පවතියද, එය අතිශය දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. රුසියාව ආක්‍රමණය කළ ප්‍රදේශවල, බිම් බෝම්බ ඇටවීම හා රුසියානු හෙලිකොප්ටර් සහ ප්‍රහාරක ගුවන් යානා යුක්‍රේන ගුවනේ තවමත් ආධිපත්‍යය දැරීම මීට හේතුව බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News