අමෙරිකාව දැඩි ණය අර්බුදයක

මැයි 17, 2023

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

    ඒ, එරට ණය සීමා ඉහළ නැංවීම පිළිබඳවයි.

    අමෙරිකාවද දැඩි ණය අර්බුදයක පසුවන අතර, එය එරට බලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසදා ගැනීමට අපොහොසත් වුවහොත්, ගෝලීය මූල්‍ය අර්බුදයක් නිර්මාණය වනු ඇති බවටද අදහස් පළ වනවා. මෙය ඒ සම්බන්ධව පැවැත්වෙන පළමු සාකච්ඡා වටයයි. ජෝ බයිඩන් කියා සිටියේ, පැයක පමණ කාලයක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති එම සාකච්ඡාව අතිශය ඵලදායී බවයි. ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පාර්ශ්ව අතර, ගිවිසුමකට එළඹීමට කඩිනමින් හැකි වනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා. එහෙත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇත්තේ, දෙපාර්ශ්වය අතර දැඩි දුරස් බවක් පවතින බවයි. මෙම සාකච්ඡාව නිසා අමෙරිකානු ජනාධිපතිවරයා සිය ඔස්ට්‍රේලියානු සංචාරයද අත්හිටුවා තිබෙනවා. ඔහු ඔස්ට්‍රේලියාවට යාමට සැලසුම් කර තිබුණේ, කොඩ් සමුළුවට සහභාගි වීම සඳහායි. ඒ වෙනුවට, ජපානයේ පැවැත්වෙන ජී-7 සමුළුවට පමණක් අද සහභාගි වන බයිඩන් යළි අමෙරිකාවට පැමිණීමට නියමිතයි. ඊයේ පැවති සාකච්ඡාවේදී ණය සීමා ඉහළ නැංවීම වෙනුවට එය කප්පාදු කළ යුතු බව රිපබ්ලිකන් නියෝජිතයන් කියා සිටියා. ඩිමොක්‍රටික් නියෝජිතයන් ඊට විරෝධය පළ කර ඇති අතර, ඔවුන් කියා සිටින්නේ, විභව ණය පැහැර හැරීම් සහ අයවැය ගැටලු වෙන-වෙනම සාකච්ඡා කළ යුතු බවයි.

    Last modified on බදාදා, 17 මැයි 2023 13:49

    Latest News