සාමය පතා යාඥා කරමි

මැයි 14, 2023

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඊයේ (13) වතිකානුවේ දී විනාඩි 40 ක පමණ පෞද්ගලික සංකච්ඡාවක් පවත්වා තිබෙනවා.


    සාමය පතා තමා නිරතුරුවම යාඥා කරන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුක්රේන ජනාධිපති ට පවසුවා.


    රුසියාව විසින් දියත් කරන ලද ආක්‍රමණයෙන් වින්දිතයන් වූ අහිංසක ජනතාවට උපකාර කිරීමේ හදිසි අවශ්‍යතාවය පාප් වහන්සේ අවධාරණය කළා.


    මෙම හමුව වෙනුවෙන් 1,000කට අධික පොලිස් භට පිරිසක් යොදවා සිටි අතර රෝමය හරහා පියාසර තහනම් කලාපයක් ද ක්‍රියාත්මක වුනා.


    රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට වතිකානුව සූදානම් බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර ප්‍රකාශ කරන කරුණක්.


    රුසියාව කියෙව් සහ අනෙකුත් යුක්රේන නගරවලට එක රැයකින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් පසුව ජනාධිපති සෙලෙන්ස්කිගේ සංචාරය සිදුවුනා.


    මේ සතිය මුලදී, ජර්මානු මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති සෙලෙන්ස්කි සිය ඉතාලි සංචාරයෙන් පසු ජර්මනියට යාමට සැලසුම් කර ඇති බවයි, නමුත් මෙය තවමත් තහවුරු කර නැහැ.

    Last modified on ඉරිදා, 14 මැයි 2023 18:06

    Latest News