ගරු බුහුමන් මැද මහ රැජිණ නික්ම යයි

සැප් 20, 2022

    ලොව පුරා ජනතාවගේ සෝ සුසුම් මැද දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු රාජකීය සාම්ප්‍රදායානුකූලව ඊයේ සිදු කෙරුණා.  ඒ, ලන්ඩන්හි වින්ඩ්සර් මාලිගයේදී.

    දින ගණනක් මහජන ගෞරවය සඳහා වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය ඊයේ වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන එනු ලැබුවා.  දේහය මාලිගය වෙත රැගෙන එන අතරතුර ජනතාව මාර්ගය දෙපස රැඳී සිටිමින් රැජිනට උපහාර දැක්වූවා.  අනතුරුව ‍වින්සර් මාලිගාව සමීපයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත දේහය රැගෙන එනු ලැබුවා. 

    එහිදී රැජිනගේ ඔටුන්න, යෂ්ඨිය සහ ස්වෛරිත්වයේ ගෝලය අවසන් වරට රැජිනගෙන් ඉවත් කෙරුණා.  1953 බ්‍රිතාන්‍යයේ මහ රැජින ලෙස කිරුළ පැළඳීමෙන් අනතුරුව ඇයගෙන් ඔටුන්න සහ එම උපකරණ නිල වශයෙන් ඉවත් කරනු ලැබුවා. 

    අනතුරුව තුන්වැනි චාල්ස් රජු සහ රැජිනගේ කාර්ය භාර නිලධාරියා, ඇයගේ නිල රාජකාරි අවසන් බවට සනිටුහන් කරමින් නිල කටයුතු සංකේතවත් කෙරෙන යෂ්ඨිය කඩා ඇයගේ දේහය මත තැන්පත් කෙරුණා. 

    අනතුරුව ගීතිකා සහ දේව මෙහෙයන්ට පැවැත්වුණා.  එහිදී ගායනා කළ ඇතැම් ගීතිකා රැජින විසින් පුද්ගලිකවම තෝරා තිබූ ඒවා වීම විශේෂත්වයක්. 

    අනතුරුව ඇයගේ දේහය රාජකීය සොහොන් ගැබ වෙත තාවකාලිකව රැගෙන යනු ලැබුවා.  ඒ සමග රැජින කර තිබූ විශේෂ ඉල්ලීමකට අනුව, අවසන් මොහොතේ ස්කොට්ලන්ත සාම්ප්‍රදායික නලා වාදනයකින් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු අවසන් බව නිවේදනය කෙරුණා.

    අනතුරුව, ඊයේ සවස රජ පවුලේ සාමාජිකයින් පමණක් සහභාගි වූ පෞද්ගලික සහ අවසන් දේව මෙහෙය රැජින වෙනුවෙන් පවත්වනු ලැබුවා.  දේව මෙහෙයෙන් පසු යළිත් වරක් දේහය රාජකීය සොහොන් ගැබ වෙත ස්ථිර වශයෙන්ම රැගෙන ගොස් ඇති අතර, රැජිනගේ දේහය සහ ඇයගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ දේහය සමගින් ස්ථිර වශයෙන් එම සොහොන් ගැබ තුළ තැන්පත් කෙරෙනු ඇති.         

    Last modified on අඟහරුවාදා, 20 සැප්තැම්බර් 2022 10:47

    Latest News