මහ රැජින අද නික්ම යයි

සැප් 19, 2022

    ලොවපුරා ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

    රාජකීය අවමංගල්‍ය උත්සවය අද සවස 03.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි. 

    දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් දිවා රාත්‍රී නොබලා දිගු පෝලිම්වල රැදී සිටිනවා. සමාන්‍ය ජනතාවට රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලබා දෙන කාලය තව පැය කිහිපයකින් අවසන් වනවා.

    එරට වේලාවෙන් උදෑසන 6.30 ට මහජනතාවට ගෞරව දැක්වීමට ලබා දුන් කාලය නිම වන අතර, ඊයේ සිටම පෝලිම්වලට ජනතාව එක් රැස් වීම බලධාරීන් විසින් සීමා කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයින් සහ විදෙස් රාජ්‍ය නායකයින්, රජ පවුල්වල සාමාජිකයින් සහ ආරාධිතයින් ද රැජිනගේ දේහයට අද දිනයේ අවසන් ගෞරව දැක්වීමට නියමිතයි. 

    ලෝක නායකයන් රැසක් ද ලන්ඩන් නුවර වෙත පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. 500කට අධික රාජ්‍ය නායකයන් ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් අද රාජකීය අවමංගල්‍යය උත්සවයට සහභාගීවන බව විදෙස් වාර්තාවල සඳහන්.

    උත්සවය සඳහා ආරාධනා ලැබ සිටින පිරිස 2000ක්. ලන්ඩන් නගරයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය අද වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. රාජ්‍ය අවමංගල්‍යය උත්සවය  පැවැත්වෙන්නේ, වෙස්මිටින්ටර් ඇබේහිදී.  එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට අවමංගල්‍යය උත්සවය ආරම්භ කිරීමට නියමිතයි.

    ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.30 පමණ. දෙවන ලෝක යුද්ධයෙන් පසු, ලන්ඩන් නුවර ආශ්‍රිත වැඩිම ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව මෙයයි. අවමංගල්‍යය උත්සවයේ ආරක්ෂාව සඳහා යොදා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 10,000ක්. මේ අතර,  විලියම් කුමරු, හැරී කුමරු ඇතුළු  රැජිනගේ මුනුබුරු, මිණිබිරියන් 08දෙනා ඊයේ දේහයට සාම්ප්‍රදායික ගෞරව දැක්වීම සිදුකළා.

      වේස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය ඉදිරිපිට හිසනමා විනාඩි 15ක් නිශ්චලව සිටිමින් හැරී කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීයයන්, රාජකීය චාරිත්‍රානුකූල ගෞරව දැක්වීම සිදුකළා.  විලියම්  කුමරු සහ හැරී කුමරු මෙහිදී රාජකීය හමුදා නිල ඇඳුම පැළඳ සිටි අතර,  සෙසු පිරිස කළු පැහැති ඇඳුමින් සැරසී සිටියා.  තුන්වන චාර්ලිස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෘ කුමරු සහ එඩ්වඩ් කුමරු මෙලෙස රැජිනට අවසන් ගෞරව පුදකළේ පසුගිය දිනයේයි. 

    ‍අමෙරිකානු ජනාධිපති ජෝබයිඩන් ද ජෝ බයිඩන් ඊයේ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.                                                          ..

    ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි අද පැවැත්වෙන එළිසෙබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ජනාධිපතිවරයා ලබන බදාදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි. බකිංහැම් මාලිගය විසින් මීට පෙර මාධ්‍ය වෙත නිකුත් කර නොතිබූ මහ රැ‍ජිනගේ සිනාසෙන ඡායාරූපයක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

    එම ඡායාරූපය රැගෙන ඇත්තේ ඇයගේ 75  වැනි ඡන්ම දිනයට සමගාමීවයි. එම ඡායාරූපයේ ඇයගේ පියා විසින් ඇයගේ 18 වැනි උපන්දිනය දින ත්‍යාග ලෙස පිරිනමනු ලැබූ පලදනාවක් පැලැද සිටින ආකාරය දක්නට ලැබෙනවා.  

    මේ අතර, එළිසබෙත් මහ රැජින 2012 වසරේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා සුප්‍රසිද්ධ ජේම්ස්‍ බොන්ඩ් චරිතය රඟ පෑ ඩැනියල් ක්‍රේග් සමග එක් වී සිදු කළ වීඩියෝ පටයට ද ලොව පුරා ජනතාවගේ ඉමහත් ආදරය සහ ගෞරවය පළ වුණා. මහ රැජින, මෙවැනි රූගත කිරීමක් සඳහා එක් වීම සිදු වූයේ ඉතාම කලාතුරකින්.

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වූයේ රැජිනට ගෞරව දැක්වීම සඳහා මල් කළඹවලට අමතරව පැඩින්ටන් බෙයාර් සහ මාමලේඩ් සැන්ඩ්විච් ආදිය ජනතාව රැගෙන යාම පිළිබඳවයි.  බලධාරින්ට එය තහනම් කිරීමට සිදුවුණා.  ඔවුන් ඉල්ලාසිටියේ ඕනෑම ආකාරයක පුෂ්පෝපහාරයක් පිළිගන්නා නමුත් කාබනික හෝ කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍ය පමණක් රැගෙන එන ලෙසයි. 

    1958 වසරේ ඔක්තෝබර් 13වැනි දින මයිකල් බොන්ඩ් විසින් මුල්වරට පැඩින්ටන් බෙයාර් පිළිබඳ නිර්මාණයක් සිදුකරනු ලැබුවා.  පැඩින්ටන් බෙයාර් සම්භාව්‍ය ළමා පොත්වල සඳහන් චරිතය සමග රැජින සහ රාජකීය පවුලට දිගු ඉතිහාසයක් පවතිනවා. 

    1986 දී බොන්ඩ් විසින් “පැඩින්ටන් ඇට් ද පැලස්” නැමති පොත රචනා කළා.  එහිදී පැඩින්ටන් බෙයාර් බකිංහැම් මාලිගය වෙත පැමිණෙන අතර එම අවස්ථාවේදී දෙවන එලිසබෙත් රැජින ජනේලයෙන් දුටු බවයි, සඳහන් කර ඇත්තේ.

    ඉන්පසු රැජිනගේ 80වන ජන්ම දින සාදයට ඔහු ගිය බවත් පසු කළෙක බ්‍රිතාන්‍යයේ කලාකරුවෙකු වන එලිනෝර් තොම්ලින්සන් ගේ සිතුවමක් සමග රැජින සහ පැඩින්ටන් බෙයාර්ගේ සබැඳියාව තවත් ප්‍රචලිත වූ බවත් සඳහන්. රැජිනගේ ප්ලැටිනම් ජුබිලියදා පැඩින්ටන් බෙයාර් රැජින සමග මාමලේඩ් සැන්ඩ්විච් රස බැලීමට සූදානම් වෙමින් තේ සාදයක් පවත්වන ආකාරය ඇනිමේෂන් තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබුණා. 

    ඒ අනුව,  රැජිනගේ අවසන් ගෞරවයන් සඳහා මෙලෙස පැඩින්ටන් බෙයාර් යොදාගෙන ඇත්තේ ද ඔවුන් අතර පැවති මිත්‍රශීලී බව ජනතාවගේ හදවත් වලට දැඩිව කාවැදී තිබූ නිසයි.  දෙවන එලිසබෙත් රැජින මෙලොව හැරගියත් පැඩින්ටන් ඇය සමග රැ‍‍‍ඳෙනු ඇත යන මතය එංගලන්ත ජනතාවගේ විශ්වාසයයි. 

    Last modified on සදුදා, 19 සැප්තැම්බර් 2022 11:06

    Latest News