කෙන්යාවේ නව ජනාධිපති විලියම් රූටෝ

අගෝ 16, 2022

    කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස, එරට නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ තේරි පත් වී තිබෙනවා.

    එරට මැතිවරණ කොමිසම විසින් මේ බව, ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

    නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ සිය ප්‍රතිවාදියා වූ හිටපු අග්‍රාමාත්‍ය රයිලා ඔඩින්ගා පරාජය කරමින්, මෙම ජයග්‍රහණය ලබා තිබෙනවා. විලියම් රූටෝ සියයට 50.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර, රයිලා ඔඩින්ගා හට ලබා ගත හැකිවූයේ,
    සියයට 48.8 ක ඡන්ද ප්‍රතිශතයක්. ඡන්ද මංකොල්ලකෑමේ චෝදනා සහ උද්ඝෝෂණ හේතුවෙන්, ජනාධිපතිවර‍ණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වුණා. ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලදී විනිවිදභාවයක් නැති බවට ද, චෝදනා එල්ල වුණා. ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාවේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පාර්ශ්වකරුවන් අතර ගැටුමක් හට ගත් අතර, ආරක්ෂක අංශ මැදිහත් වී, එය සමතයකට පත් කරනු ලැබුවා. ඔඩින්ගාගේ පක්ෂ නියෝජිතයින් මීට පෙර චෝදාන කළේ, මැතිවරණයේ අක්‍රමිකතා ඇති බවයි.

    ජයග්‍රාහී 55 හැවිරිදි විලියම් රූටෝ ජනාධිපති වරණයට ඉදිරිපත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි. ඔහු වසර 10 ක කාලයක් නියෝජ්‍ය ජනාධිපති ධුරයේ කටයුතු කළා. සියයට 48.8 ක ඡන්ද ප්‍රතිශතයක්
    ලබා ගත් 77 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය ඔඩින්ගා, ‍සහභාගී වූ පස්වැනි ජනාධිපතිවරණය මෙයයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, තර්ජන පැවතියද තම රාජකාරී නිසි ලෙස ඉටු කළ බවයි. මැතිවරණ කොමිසම නිසි ලෙස තම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් විලියම් රූටෝ සිය ස්තුතිය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ, තමාට සියලුම කෙන්යානු වැසියන්ගේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය බවයි. ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ රයිලා ඔඩින්ගාගේ ආධාරකරුවන්, මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි දැවැන්ත විරෝධතාවක නිරතව සිටිනවා.

    Latest News