පකිස්තානයේ ගංවතුරින් 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට...

අගෝ 07, 2022

    පකිස්තානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වයෙන් මේ වන විට 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    පකිස්තාන ආපදා කළමණාකරණ අධිකාරිය පවසන්නේ, අධික වර්ෂාපතනය හා ගංවතුර හේතුවෙන් නිවාස 46,000කට අධික සංඛ්‍යාවක් මුලුමනින්ම විනාශ වී ඇති බවයි. විපතට පත් පිරිස් සඳහා පුළුල් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර, ආධාර හා සහන කඳවුරු රැසක් ස්ථාපනය කර තිබෙනවා. විපතට පත් පවුල් නැවත පදිංචි කිරීම හා ආහාර, ඖෂධ, අනෙකුත් අවශ්‍යතා පහසුකම් කඩිනමින් සැපයීමට ද බලධාරින් පියවර ගෙන ඇතැයි, විදෙස් වාර්තා වල සඳහන්. පකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ආපදාවට ලක්වූ ප්‍රදේශ නිරීක්ෂණයට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ, විපතට පත් පිරිස් සඳහා හැකි උපරිමයෙන් ආධාර හා උපකාර ලබාදෙන බවයි.

    අධික ගංවතුර හේතුවෙන් මාර්ග රැසක් මුලුමනින්ම විනාශ වී ගොසින්. එම නිසා ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් දුෂ්කරවී ඇති බවයි වාර්තා වන්නේ. මෙවර වාර්ෂාපතනය අසාමාන්‍ය තත්ත්වයක් බවත්, පසුගිය වසර 30ක කාලයේ පැවති වර්ෂාපතනයට වඩා මෙය 133%ක ඉහළ අගයක් ගන්නා බවත් කාලගුණ අංශ පෙන්වා දෙනවා.

    Latest News