තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලවක ඇති වූ ගින්නකින් 14ක් මරුට...

අගෝ 06, 2022

    තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලවක ඊයේ අළුයම ඇති වූ ගින්නකින් පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ. ‍සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි තායිලන්ත අගමැතිවරයා එරට ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නගරයේ සිට සැතපුම් 90ක් පමණ ගිනිකොණ දිගින් පිහිටි "මවුන්ට් බී" රාත්‍රී සමාජ ශාලවේ මෙම ගින්න හටගෙන තිබුණා.

    ගලවා ගැනීමේ සේවකයින් විසින්  නිකුත් කළ වී‍ඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ ගින්නට අසුවූ සමාජ ශාලා සේවකයින් කෑගසමින් පලා යන ආකාරයයි. ගින්නට අසුවූ පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව තායිලන්ත බලධාන් පවසනවා. තවත් පුද්ගලයින් 40 ක් පමණ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමින් දස දෙනෙකු වනවා. ඔවුන්ගේ සිරුරු සමාජ ශාලවේ ප්‍රධාන දොරටුව අසල සහ නාන කාමරයේ තිබි සොයා ගෙන ඇති අතර ඇතැම් සිරුරු දැඩි ලෙස පිළිස්සීමට ලක්ව තිබෙනවා.

    මියගිය පිරිස අවුරුදු 17 ත් 49ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ. ගිනි නිවන භටයන් පැය තුනකට වඩා වැඩි කාලයක් ගින්න නිවාදැමීමට මහත් පරිශ්‍රමයක් දැරු බව බලධාරින් පැවසුවා. තායිලන්ත අග්‍රාමාත්‍ය "ප්‍රයුත් චාං ඕචා" විපතට පත් වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර  ඇති අතර එම සිදු වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එරට ආරක්ෂක අංශය වෙත ‍නියෝග කර තිබෙනවා.

    Latest News