අප්‍රිකාවෙන් පිටත පළමු මංකි පොක්ස් මරණය බ්‍රසීලයෙන්

ජූලි 30, 2022

    අප්‍රිකාවෙන් පිටතදී මංකි පොක්ස් වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පුද්ගලයා බ්‍රිසීලයෙන් වාර්තා වනවා. ස්පාඤ්ඤයේ ද මංකි පොක්ස් වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය එරට සෞඛ්‍ය බලධාරින් විසින් නිවේදනය කර තිබෙනවා.

    අප්‍රිකා මහද්වීපයෙන් පිට මංකි පොක්ස් වෛරසය ආසාදනය වීමෙන් යුරෝපයෙන් සහ දකුණු අමෙරිකාවෙන් වාර්තා වූ පළමු මරණය මෙයයි. බ්‍රසීලයේ මියගිය පුද්ගලයා ඉතා දුර්වල ප්‍රතිශක්තීකරණයෙන් පීඩා විඳි අයෙකු බව, වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන රෝගීන් 513 දෙනෙකු සොයාගත් බව, බ්‍රසීල සෞඛ්‍ය අංශ පවසනවා.

    බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ තහවුරු වූ රෝගීන්ගෙන් සියයට 98කට වැඩි ප්‍රමාණයකට  වෛරසය ආසාදනය වී ඇත්තේ, ලිංගික ක්‍රියාවන් හේතුවෙන් බවයි.

    මේ අතර ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ, එරටින් මංකි පොක්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් 3750ක් වාර්තා වී ඇති බවයි. ඉන් 122 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

    මියගිය පුද්ගලයා ගැන ගැන තොරතුරු මාධ්‍යයට නිකුත් කර නැහැ. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට හා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී ඇති දත්ත අනුව ලොව පුරා මංකි පොක්ස් වෛරසය ආසාදනය වූ රෝගීන් විසිඑක්දහසකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

    ඉකුත් සතියේ මංකි පොක්ස් වෛරස් ව්‍යාප්තිය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කළා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්රෝස් ආද්නාම් ගෙබ්‍රියේෂස් කියා සිටියේ වෛරසය පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගන්නා ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 30 ජූලි 2022 11:54

    Latest News