ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට දැඩි ගංවතුර තත්වයක්...

ජූලි 03, 2022

    ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයට දින කිහිපයක සිට ධාරාණිපාත වැසි ඇඳ හැලෙමින් පවතිනවා. එම නිසා දැඩි ගංවතුර තත්වයක් හට ගැණුනු අතර ප්‍රදේශ රැසක ජනතාවට ඉවත්යාමේ නියෝග 18ක් නිකුත් කර ඇති බවයි, වාර්තා වන්නේ. මහාමාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වසා තැබීමට සිදුව තිබෙනවා.

    රථවාහන රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. නිව්සවුත්වේල්ස්හි හදිසි සේවා අමාත්‍ය ස්ටෙෆ්නි කුක් පවසන්නේ, මෙය බොහෝ පිරිසකට ජිවිත අවදානමක් මතුකර ඇති තත්වයක් බවයි. ඉකුත් මාර්තු මාසයේදී ද ප්‍රදේශයට ඇති වූ ගංවතුරින් 20කට අධික පිරිසක් මිය ගියා. මේ වනවිට සිඩ්නිහි ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර 350 ඉක්මවූ තද වැසි ඇද හැලෙන බව එරට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නගරයේ ප්‍රධාන වේල්ලක් වාන් දැමීම පිළිබඳව ද බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ගංවතුර, සුළි සුළං සහ දැවැන්ත ලැව් ගිනි වැනි කාලගුණ ආපදාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙමින් සිටිනවා. විද්‍යාඥයන් පවසන්නේ, දේශගුණික විපර්යාස ඉහළයාම මෙම ඛේදනීය තත්වයට මුලික හේතුව බවයි...

    Latest News