රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන සිවිල් වැසියන් 21ක් මරුට

ජූලි 02, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ දකුණු "ඔඩේස්සා" නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාර ගණනාවකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගිය පිරිස අතර කුඩා දරුවෙකු ද සිටින බවයි, වාර්තා වන්නේ. ඔඩේස්සා නගරයේ ඇති මහල් ගොඩනැගිල්ලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 16 දෙනෙකු මියගොස් ඇති බව, යුක්‍රේන බලධාරින් පවසනවා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි 150 දෙනෙකු පමණ සිටි බවටයි විශ්වාස කෙරෙන්නේ.

    සුන්බුන් අතර, සිරවී සිටින්නන් මුදා ගැනීමට ආපදා කණ්ඩායම් සහ එරට යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

    මේ අතර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔඩේස්සා නගරයට මෙතෙක් එල්ලු වූ ප්‍රහාරවලින් ළමුන් 06 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු තුවාළ ලබා ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    රුසියානු හමුදාව සිවිල් වැසියන් සිටින ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේන බලධාරින් චෝදනා කරන අතර, රුසියානු බලධාරීන් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා.

    Last modified on සෙනසුරාදා, 02 ජූලි 2022 11:47

    Latest News