සම්බාධක ඉවත් කරන ලෙස රුසියාව ඉල්ලා සිටී...

මැයි 25, 2022

    යුක්‍රේනයේ නිපදවන ආහාර ද්‍රව්‍ය එරටින් පිට කිරීමට අවශ්‍ය නම් තමන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස රුසියාව ඉල්ලා සිටිනවා.

    එතෙක් යුක්‍රේනයේ නිෂ්පාදන වරායන් මගින් රැගෙන යෑමට අවසර නොදෙන බව රුසියාව අවධාරණය කරනවා. යුක්‍රේනය ලොව ප්‍රධාන පෙළේ තිරිඟු නිෂ්පාදකයෙකු වන අතර ආහාර ද්‍රව්‍ය රැසක්ම අපනයනය කරනවා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙල ද අනතුරු අඟවා ඇත්තේ රුසියානු-යුක්‍රේන අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ගෝලීය ආහාර අර්බුදයක් ඇති විය හැකි බවටයි.
    එහෙත් බ්‍රිතාන්‍ය පවසන්නේ මේ හේතුවෙන් ආහාරවල මිල ගණන් පමණක් ඉහළ යනු ඇති බවයි. යුක්‍රේනයේ ලුහාන්ස්ක් නගරයට රුසියානු හමුදාව එල්ල කරන ෂෙල් ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා. නගර ආණ්ඩුකාරවරයා පවසන්නේ, එහි තත්වය සෑම පැයක් ඇතුළතම තවදුරටත් පිරිහෙමින් පවතින බවයි.
    නැගෙනහිර ලුහාන්ස්ක් සහ ඩොනෙක්ස් ප්‍රදේශවලට රුසියානු හමුදාව ඊයේ දිනයේත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේනයේ ජනාධිපති කාර්යාල ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ, රුසියාවට කියෙව් අගනුවර කිසිදු භූමි ප්‍රදේශයක් පවරා දීමට තම රජය සූදානම් නොමැති බවයි.
    මේ වනවිට යුක්‍රේනයේ පවතින යුද්ධය මහද්වීපික සහ ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීම වැලැක්වීමට ඇති එකම මාර්ගය පවතින යුද්ධයෙන් යුක්‍රේනය ජයග්‍රහණය කරවීම බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News