කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්...

ජන 15, 2022

    කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්, අමෙරිකාවේ එන්නත් විශේෂඥයින් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් නිෂ්පාදනය කර තිබෙනවා.

    එය, ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට හැකිවීම ගෝලීය එන්නත්කරණය සඳහා විශාල පිටිවහලක් බව, එන්නත් විශේෂඥයින් පවසනවා. වෛද්‍ය මරියා එලේනා සහ වෛද්‍ය පීටර් හොටර්ස් නමැති එම එන්නත් විශේෂඥයින් දෙදෙනාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි, නව කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ.

    ඔවුන් පවසන්නේ, සම්ප්‍රදායික ක්‍රමවේදය ඔස්සේ එන්නත නිෂ්පාදනය කළ බවයි. ඒවා ෆයිසර්, මොඩර්නා වැනි RNA එන්නත් කාණ්ඩයේ නොවුනත් එහි ඵලදායිතාව පිළිබඳ සහතික විය හැකි බව, ඔවුන් පවසනවා. 2020 වසරේදී ගෝලීය වශයෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් බිලියන 10 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරුණු අතර, ඉන් 70% ක පමණ ප්‍රමාණයක් පසුගිය අවුරුද්ද තුළ බෙදී ගොස් ඇත්තේ, සංවර්ධිත රටවල පමණයි. මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් නොලැබුණු පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

    පර්යේෂණ මගින් හඳුනාගෙන ඇත්තේ, එන්නත් නොකළ පුද්ගලයන් විශාල පිරිසක් සිටීම මගින් නව වෛරස් ප්‍රභේද වේගයෙන් පැතිරයාම හා ඉන් ඇතිවන අවදානම ඉහළ යන බවයි. මේ ගැටළු සඳහා විසඳුමක් ලෙස නව එන්නත් සඳහා ගෝලීය අවසරය ලබාගැනීමෙන් අනතුරුව, සියලු රටවල් සඳහා නොමිලයේ නිෂ්පාදන අයිතිය ලබාදීමට විශේෂඥයින් එකඟවී තිබෙනවා. නව එන්නත "කොබාවැක්ස්" ලෙස නම්කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    Latest News