පේරු හි නව ජනාධිපති ලෙස ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු

ජූලි 29, 2021

    පේරු රාජ්‍යය නව ජනාධිපතිවරයා ලෙස පෙද්‍රෝ කැස්ටිලෝ තේරීපත්ව තිබෙනවා.

    එරට ග්‍රාමීය ප්‍රදේශයක ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු ලෙස මීට පෙර සේවය කර තිබීම නිසා ඔහු ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව විදෙස් මාධ්‍ය තුළ දැඩි අවධානයක් හිමි වුණා.

    පෙද්‍රෝ කැස්ටිලෝ පේරුහි පූනා ගම්මානයේ උපත ලබා ඇත්තේ 1969 වසරේ ඔක්තෝබර් 19 වැනි දිනයි. ඔහු 1995 සිට 2020 දක්වා ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු ලෙස සේවයකර තිබෙනවා.

    කෙසේ වුවද අනපේක්ෂිතව පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු බවට පත්වූ පෙද්‍රෝ කැස්ටිලෝ එහි පළමු වටයේ ජය හිමිකර ගැනීම විමතියට කරුණක් වුණා. හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජි මෝරිගේ දියණිය වූ කායිකෝ ෆුජීමෝරි ඇතුළු අපේක්ෂකයන් 17 දෙනෙකු පමණ අභිබවා යමින් කැස්ටිලෝ පේරුහි නව ජනාධිපති වරයා බවට පත්වුණා.

    මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව විපක්ෂ අපේක්ෂකයන් චෝදනා කළේ මැතිවරණයේ දූෂණ වංචා සිදු වූ බවටයි. ඒ හේතුවෙන් ඡන්ද ගණනය කිරීමෙන් අනතුරුව නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට සති ගණනාවක් ගත වුණා. අනතුරුව මනාප 47,000කට වැඩි සංඛ්‍යාවකින් විපක්ෂය පරාජය කිරීමට කැස්ටිලෝ සමත් වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    කෙසේ වුවද ධුරයේ රාජකාරී ආරම්භ කිරීමත් සමග ඔහුට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතෙ. ලොව ඉහළම ඒක පුද්ගල මරණ අනුපාතයක් වාර්තා වන පේරු රාජ්‍යයේ ආර්ථික අර්බුද නිසා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් සිටිනවා. මෙවැනි අර්බුද රැසකට පිළියම් සෙවීම සහ වසරක් තුළ නව රැකියා මිලියනයක් ඇති කිරීමට කැස්ටිලෝගේ අරමුණයි.

    එසේම, ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ හිටපු ජනාධිපති ෆුජිමෝරි 1993 වසරේ බලාත්මක කරන ලද ව්‍යවස්ථාව, ජනමත විචාරණයක් මගින් අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීමයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 ජූලි 2021 16:49

    Latest News