පස්වැනි දිනටත් ගාසා තීරය යළි ඇවිලෙයි

මැයි 14, 2021

    ගාසා තීරයේ ගැටුම් අද (14) පස්වැනි දිනටත් පැවති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර රැසක් වළක්වාලීමට තමාට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල් හමුදාව පවසයි. ගුවනින් සහ ගොඩබිමෙන් තමා ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල් හමුදා ප්‍රකාශ කරයි. මෙම ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 119ක් මේ වනවිට මියගොස් තිබේ.

    ඉන් බහුතරය සාමාන්‍ය වැසියන් වන අතර, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරවලින් කුඩා දරුවන් 27ක් ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි. එසේම ගාසා තීරයේ මේ වනවිට විශාල ලෙස විරෝධතා හටගෙන ඇති අතර, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර බරපතල ගැටුම් ද හටගත්තේය.

    මෙම සතියේ ගාසා තීරයේ හටගත් ගැටුම් 2014න් පසු එම ප්‍රදේශයේ ඇති වූ බරපතලම ගැටුම්කාරි තත්වය බව බීබීසී ලෝක සේවය පවසයි. ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ පලස්තීන හමුදාවන්ට එරෙහි ප්‍රහාර ඔවුන්ට අවශ්‍ය තරම් කාලයක් එල්ල කරන බවයි.

    හමාස් සංවිධානයට මෙවර දරුණු ප්‍රහාරවලට මුහුණදීමට සිදුවන බව ඊශ්‍රායල අගමැතිවරයා අනතුරු අඟවයි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 20:02

    Latest News