මිනිසා අභ්‍යවකාශය තරණය කර වසර 60 ක්‌

අප්‍රේ 13, 2021

    මිනිසා අභ්‍යවකාශය තරණය කර වසර 60 ක්‌ සම්පූර්ණ වනවා.

    ඊයේට යෙදී තිබූ සංවත්සර දිනය වෙනුවෙන්‌ රුසියාව ඇතුළු රටවල්‌ රැසක උත්සව පැවැත්වුණා.

    මිනිසෙකු අභ්‍යවකාශය තරණය කිරීමේ ගෞරවය ප්‍රථමයෙන්‌ හිමි කරගත්‌ රට වන්නේ සෝවියටි රුසියාවයි. යුරි ගගාරින්‌ නමැති ගගණගාමියා රැගත්‌ වොස්ටොක්‌-1 නමැති අභ්‍යවකාශ යානය 1961 වසරේ අප්‍රියල්‌ 12 වැනිදා උඩුගුවනට පිවිසුණා. වොස්ටොක්‌-1 යානය රැගත්‌ රොකට්ටුව උඩුගුවනට යැවුණේ, දැනට කසාක්ස්ථානය සතුව පවතින එවකට සෝවියට්‌ දේශයේ ප්‍රධාන රොකට්‌ ගුවන්‌ ගත කිරීමේ මධ්‍යස්ථානය වන බයිකොනූර් අභ්‍යවකාශ කේන්ද්‍රයෙන්‌. මේ සමගම යුරි ගගාරින්‌ ජාත්‍යන්තර වීරයෙකු බවට පත්‌ වුණා. ගගාරින්‌ මේ සඳහා විශාල අවදානමකට මුහුණ දුන්‌ අතර, දීර්ඝ හා දුෂ්කර පුහුණු කාලසීමාවක්‌ ද ගෙවා දැමුවා. ගගණගාමීන්‌ පළඳින අභ්‍යවකාශ ඇඳුම ප්‍රථමයෙන්‌ ඇඟලූ පුද්ගලයා ද වන්නේ යූරි ගගාරින්‌.

    ඔහු රැගත් යානය ගුවන්‌ ගත කෙරුණේ, ග්‍රිනිච්‌ වේලාවෙන්‌ පෙරවරු 6.07 ට පමණ. පෙරවරු 6.18 වන විට වොස්ටොක්‌-1 යානය පෘථිවියෙන්‌ පරිබාහිර අභ්‍යවකාශයට අවතීරණ වුණා. එහිදී යුරි ගගාරින්‌ ප්‍රකාශ කළේ, තමන්ට පෘථිවිය ඉතා හොඳින්‌ දිස්‌ වන බවයි. මෙය මිනිසෙකු අභ්‍යවකාශයේ සිට කතා කළ ප්‍රථම වචන කිහිපයයි. ගගාරින්‌ රැගත්‌ යානය පැයයි විනාඩි 48 ක්‌ අභ්‍යවකාශයේ ගත කළා. ඒ, පෘථිවිය වටා ගමනක්‌ සම්පූර්ණ කරමින්‌.

    අනතුරැව එය පෘථිවිය බලා ගමන් ඇරඹුවේ පෙරවරු 7.35ට පමණයි. ගගාරින්‌ පැරෂුටි මගින්‌ 8.05 ට පමණ රුසියාවේ මධ්‍යම වොල්ගා ප්‍රදේශයේ පිහිටි සරටෝව්‌ ප්‍රදේශයට පතිත වුණා. ඒ, සාර්ථක ලෙස අභ්‍යවකාශය ජයගත්‌ ප්‍රථම මිනිසා බවට පත්‌ වෙමින්‌, ඔහු 1961 වසරේ දෙසැම්බර්‌ 7 වැනිදා රාජ්‍ය අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකාවේ චාරිකා කිරීම ද සුවිශේෂී සිද්ධියක්‌. ගුවන්‌ හා අභ්‍යවකාශ මෙහෙයුම්‌ සඳහා ජීවිතය කැප කළ ගගාරින්‌ 1968 මාර්තු 27 වැනිදා ජෙට්‌ යානා පරීක්‍ෂණයකදී සිදුවු අනතුරකින්‌ මෙලොවින්‌ සමු ගත්තා.

    රුසියාවේ ප්‍රධාන අභ්‍යවකාශ සංවත්සරය පැවැත්වුණේ, ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්‌. ඒ, මොස්කව් නුවරට කිලෝමීටර 860 ක්‌ ගිනිකොන දෙසින්‌ පිහිටි සරටෝවි ප්‍රදේශයේ ගගාරීන්‌ ස්මාරකය අබියසදී. රුසියාව දිගින්‌ දිගටම අභ්‍යවකාශ මෙහෙයුම්‌ සඳහා කැප වන බව ජනාධිපති පුටින්‌ එහිදී කියා සිටියා.

    Latest News