පිලිප් කුමරුගේ අවසන් කටයුතු, ලබන සෙනසුරාදා

අප්‍රේ 11, 2021

    දෙවන එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන, එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු, ලබන සෙනසුරාදා පැවැත්වෙන බව, බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

    එදින පස්වරු 3.00ට වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිතයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අවමංගල්‍ය උත්සවය රාජකීය ප්‍රමිතීන්ට අනුකූලව අවම මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර ඇත. එඩින්බරෝ ආදිපාදවරයා ලෙස කටයුතු කළ පිලිප් කුමරු ඉකුත් සිකුරාදා උදෑසන වින්ඩ්සර් මාලිගයේදී සාමකාමීව සිය දිවියෙන් සමුගත්තේය.

    ඒ වනවිට ඔහු 99 වැනි වියේ පසුවිය. දෛවන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරුගේ විවාහ දිවිය, වසර 73ක්. එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන රාජකීය අවමංගල්‍යය උළෙලේ දී විනාඩියක ජාතික නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද නියමිතයි.

    රාජකීය යුවළගේ වැඩිමහල් පුත්, සිංහාසනයේ උරුමකරුවා වන චාල්ස් කුමරු, සිය ආදරණිය පියාණන්ට හෘදයාංගම උපහාරයක් පිරිනමමින්, විශේෂ ප්‍රකාශයක් ද කර තිබේ. රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කෙරෙන අතර, රජ පවුලේ 30 දෙනෙකු පමණක් ඊට සහභාගි වනු ඇත.

    සාම්ප්‍රදායික රාජකීය අවමංගල්‍ය ‍පෙරහැර මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇත. ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇත්තේ, රාජකීය අවමංගල්‍යය සඳහා සහභාගි වන්නේ කවුරුන් ද යන්න පිළිබඳවයි. මෙම අවස්ථාවට හැරි කුමරු සහබාගි වන බවත්, දෙවන දරු ප්‍රසුතිය අපේක්‍ෂාවෙන් සිටින මේගන් මාකල් මීට සහභාගි නොවන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ රාජකීය පවුලේ ඥාතීන්ට අවමංගල්‍ය උළෙලට සහභාගිවීමට වැඩි අවස්ථා සලසා දෙමින් තමා ඊට සහභාගි නොවන බවයි. පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් කුමරුට ගෞරවය පුද කරමින් බ්‍රිතාන්‍යය පුරා, ඊයේ ආචාර වෙඩි මුර පැවැත්විණ. එරට මුහුදු සීමාවන්හි යුද නැව්වලින් ද ආචාර වෙඩි මුර පිරිනැමිණ. දේහය පිළිබඳ රාජකීය අවමංගල්‍යය, එරට මාධ්‍ය ඔස්සේ සජිව ලෙස විකාශය කිරිමට නියමිතයි.

    මේ අතර පිලිප් කුමරුගේ අභාවය හේතුවෙන්, ලබන 17 වැනිදා දක්වා බ්‍රිතාන්‍යය ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ. එරට ජනතාව බකිංහැම් සහ වින්ඩ්සර් මාලිගය ඇතුළු ස්ථාන රැසක පිලිප් කුමරු වෙනුවෙන් මල්වඩම් සහ වෙනත් සිහිවටන තැන්පත් කර ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි ක්‍රියාවලින් වැළකී ඔහු වෙනුවෙන් හැකිතාක් පුණ්‍ය කටයුතු කිරීම යහපත් බවයි.

    රියදුරෙකු නොමැතිව තනිවම ලෑන්ඩ් රෝවර් රථ පැදවීමට පිලිප් කුමරු දැක්වූයේ දැඩි කැමැත්තක්. ඒ හේතුවෙන් ඔහුගේ දේහය ද වින්ඩ්සර් මාලිගයේ සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය දක්වා ලෑන්ඩ් රෝවර් රථයකින්ම රැගෙන යාමට සැලසුම් කිරීම විශේෂත්වයක්.

    Latest News