බ්‍රසීලයේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඉල්ලා අස්වෙයි

මාර් 31, 2021

    බ්‍රසීලයේ යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබේ. එරට ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ පාලන තන්ත්‍රය සමග පවතින අර්බුද ඊට හේතුවයි.

    ඒ අනූව, එරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයාට එකවර හමුදා ප්‍රධානීන් තිදෙනාම පත් කිරීමට සිදු වන අවස්ථාවක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    බ්‍රසීල ජනාධිපතිවරයා,හමුදාව අනවශ්‍ය ලෙස පාලනය කිරීමට උත්සහ දැරීම හේතුවෙන් තමන් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

    බොල්සොනාරෝගේ පරිපාලනයේ විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන් දෙදෙනා ද ඉකුත් සඳුදා එම ධුරවලින් ඉවත් විය. ජාර් බොල්සොනාරෝ සිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 6 දෙනෙක් ඉවත් කිරීමට ද කටයුතු කළේ,ඉන් අනතුරුවයි.

    මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා,සිය ධුර කාලය තුළ සිදු කළ විශාලතම කැබිනට් මණ්ඩල වෙනස් කිරීම මෙය ලෙස සැලකෙයි.

    කොරෝනා වෛරස ව්‍යාප්ති පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්,ජනාධිපතිවරයා රට අභ්‍යන්තරයේ පමණක් නොව අන්තර්ජාතිකව ද දැඩි අප්‍රසාදයට පාත්‍ර විය.

    කෙසේ වුවද මේ වන විට හමුදා ප්‍රධානීන් ද සිය ධුරවලින් ඉවත් වීම එරට ආරක්ෂක, දේශපාලන මෙන්ම සාමාජික වශයෙන් ද දැඩි බලපෑමක් ඇති වීමට හේතු වන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 31 මාර්තු 2021 09:26

    Latest News