ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කෙරේ

ජන 30, 2019

    ඔස්ට්‍රේලියාවේ දී තැපැල් ලිපි හා පාර්සල් සොරකම් කිරීමට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

    ඔහු අධිකරණයේ දී හඬා වැටෙමින් වරද පිළිගත්තේය. ඒ අනුව එරටින් ඉවත්වීමට අදාළ ලියකියවිලිවලට ඔහු අත්සත් තබා ඇත. ප්‍රදීපන් ලෝගන්දන් නමැති මේ ශ්‍රී ලාංකිකයා, අනවසර සංක්‍රමණිකයෙක් ලෙසයි, එරටට ගොස් ඇත්තේ.

    ඒ, 2012 වසරේදී. අනතුරුව ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තැපැල්කරුවෙකු ලෙස ඔහු සේවයට එක්වූ අතර, එහි සිව් වසරක් පුරා සේවය කර තිබේ. රාජකාරී වේලාවේදී ලිපි හා පාර්සල් අස්ථානගතවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවිය. ඒ අනුව, එරට තැපැල් බලධාරීන් මේ පිලිබඳව පොලිසියට පැමිණිළි කළේය.

    ඒ පසුගිය වසරේ නත්තල් සමයේදී. සිදු කළ පරීක්‍ෂණ අනුව, ලෝගන්දන්ගේ නිවසේ සහ මෝටර් රථයේ තිබී ලිපි හා පාර්සල් රැසක් සොයා ගනු ලැබීය. ඒ අතර තිබී ජංගම දුරකතන මෙන්ම, ඔස්ට්‍රේලියානු ඩොලර් 5,000ක් වටිනා විද්‍යුත් උපකරණ රැසක් ද තිබූ බව, එරට පොලිසිය සඳහන් කළේය.

    ඔහුගේ නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ, තම සේවාදායකයා සිය මාමාට ණය වී ඇති බවයි. ඒ අනුව ලෝගන්දන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂයක පමණ මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි, නීතිඥයා අධිකරණය හමුවේ කියා සිටියේය. එහෙත් අධිකරණය ඔහු වරදකරුවෙක් ලෙස නම් කරනු ලැබීය.

    Latest News