චීනයේ 2035 වසර දක්වා වන දිගුකාලීන ඉලක්ක ඉදිරිපත් කෙරේ

මාර් 05, 2021

    13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය බෙයිජිංහිදී අද (05) ආරම්භ විය.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ සහ මහජන නියෝජිතයෝ 3000 දෙනෙක් පමණ ඊට එක් ව සිටිති.

    චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා අද ආරම්භ වූ සැසිවාරයේදී චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේ ය. පසුගිය වසර, නව චීන ඉතිහාසයේ ඉතාම විශිෂ්ට වසරක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය. නව කොරොනා වසංගතය සහ ලෝක ආර්ථිකයේ පසු බැසීම යනාදී දැඩි අභියෝග මධ්‍යයේ චීනය වසංගතය පාලනය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති අතර, ලෝක ප්‍රධාන ආර්ථිකයන් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගත් එකම රට බවට පත්ව ඇත. චීනය අන්ත දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය සපුරාලීම, ජනතා තෘප්තිමත් ජයග්‍රහණයක් මෙන්ම ලෝක අවධානය යොමු වන ප්‍රගතියකි. 2020 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2.3% කින් වර්ධනය වී ඇත. නාගරික රැකියා නියුක්තිය කෝටි 1.186 කින් වැඩි වූ අතර විරැකියා අනුපාතය 5.2% දක්වා පහත වැටිණ. මිලියන 5.51 ක ග්‍රාමීය දිළිඳු පුද්ගලයින් සහ දුප්පත් කෝරළ සියල්ල ම දිළිඳුකමෙන් මුදවා ගෙන ඇත. 2021 වසර චීනයේ 14වන පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පළමු වසර වශයෙන් සැ‍ලකේ. ඉන් චීනයේ සමාජවාදී නවීකරණ ක්‍රියාදාමය පූර්ණ වශයෙන් ආරම්භ වනු ඇත.

    චීනයේ රාජ්‍ය කාර්ය වාර්තාව, 14වන පස්අවුරුදු සැලැස්ම සහ 2035 වසරේ දිගුකාලීන ඉලක්ක පිළිබඳ කෙටුම්පත මෙවර සැසිවාරයේදී සාකච්ඡාවට හා පරීක්ෂණයට ලක් කෙරේ. චීනයේ ඉදිරි වර්ධන දිශාවන් හා මාර්ග නියම කිරීම ඉන් සිදු ‍කෙරේ. 2021 වසරේ චීනය ගෝලීය හවුල්කාරීත්වය සක්‍රිය ලෙස සංවර්ධනය කරනු ඇතැයි අද ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි. 2021 වසරේ චීනය අඛණ්ඩ ව ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ගෝලීය හවුල්කාරීත්වය සක්‍රිය ලෙස සංවර්ධනය කරනු ඇති බවත්, චීනය නවාකාරයේ ජාත්‍යන්තර සබඳතා සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීම වඩාත් ඉදිරියට ගෙන යනු ඇති බවත්, එම වාර්තාව සඳහන් කරයි.

    වඩාත් පුළුල්, වඩාත් විශාල මෙන්ම වඩාත් ගැඹුරු ආකාරයෙන් විදේශයන්ට විවෘත කිරීම සඳහා චීනය පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාවන්ට මනාව සහභාගී වීමට අපේක්ෂා කෙරේ. විදේශ ව්‍යාපාරයන් චීනයේ සිදු කරන ආයෝජන තවදුරටත් පුළුල් කර ගනිමින් චීනයේ විවෘත මනා වෙළඳපොල මෙන්ම සංවර්ධන අවස්ථාවන් බෙදා ගැනීමට ගෝලීය වශයෙන් ආරාධනා කෙරේ.

    පරිසර දූෂණය වැළැක්වීම හා පාලනය කිරීම, ජෛව පරිසරය ගොඩනැගීම ශක්තිමත් කරමින් චීනය අඛණ්ඩව පරිසර ගුණාත්මකභාවය යහපත් කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා පැවසීය. ඉදිරි වසර 5 තුළ දේශගුණ විපර්යාසයට‍ මුහුණ දීම වෙනුවෙන් 2030 වසරේ චීන ස්වයං දායකත්ව ඉලක්කය ක්‍රියාවට නංවනු ඇත. දළ දේශීය නිෂ්පාදිතය ඒකකයක් සඳහා වූ බලශක්ති පරිභෝජනය හා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන් වෙන් ව සියයට 13.5කින් හා සියයට 18කින් අඩු වනු ඇති අතර වන ආවරණ අනුපාතය සියයට 24.1ක් දක්වා වර්ධනය වනු ඇත.

    මේ වසරේ චීනය විද්‍යා තාක්ෂණ ව්‍යාපෘති හා නවෝත්පාදන මූලස්ථාන සැකැස්ම වැඩිදියුණු කරනු ඇති බවත්, මූලික පර්යේෂණ සඳහා මධ්‍යම රජය වැය කරන මුදල 10.6% කින් ඉහළ නංවනු ඇති බවත්, එම වාර්තාවේ දැක්වේ. 14වන පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලයේ චීනය ජාතික පරීක්ෂණාගාර ප්‍රමුඛ උපාය මාර්ගික විද්‍යා තාක්ෂණික ශක්තිය වඩවමින් කේන්ද්‍රීය තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කරනු ඇත.

    මූලික පර්යේෂණ පිළිබඳ 10 වසරක ක්‍රියා සැලැස්මක් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමටත් විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්ව පද්ධතිය පූර්ණ කිරීමටත් එම කාලයේ දී චීනය වැඩි අවධානය යොමු කරනු ඇත. මූලික විද්‍යා තාක්ෂණික පර්යේෂණ සඳහා චීනය මූල්‍ය ප්‍රතිපාදන වාර්ෂික ව 7%කින් වැඩි කරනු ඇති බව රාජ්‍ය කාර්ය වාර්තාව සඳහන් කරයි.

    චීනය සිය ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ පුළුල් කරනු ඇති අතර වෙළඳපොලේ ප්‍රාණවත්භාවය උත්තේජනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. ව්‍යාපාරවල දුෂ්කරතාවන්ට විසඳුම් සොයා දීමට සහාය දක්වමින් වඩාත් ප්‍රාණවත් වෙළඳපොල ස්වභාවයන් පෝෂණය කිරීමට පියවර ගැනේ.

    මෙම වසරේ දී චීන සංවර්ධනය අභියෝග හා අවදානම් රැසකට මුහුණ දුන්න ද චීන ආර්ථිකයේ දිගුකාලීන යහපත් මූලික තත්ත්වය වෙනස් වී නොමැති බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. චීන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අපේක්ෂිත අනුපාතය සියයට 6කට වැඩි වනු ඇතැයි ලී ක ච්‍යං මහතා කියා සිටියේය. මෙම වසරේ අපේක්ෂිත ඉලක්කය සියයට 6කට වැඩි අනුපාතය නියම කිරී‍මේදී, ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ තත්ත්වය සලකා බලා ඇත. ඉන් විවිධ ක්ෂේත්‍ර බලය එක්රැස් කර ප්‍රතිසංස්කරණ, නිර්මාණශීලිත්වය හා අධික ගුණාත්මක භාවයෙන් යුත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපාකරී වේ. ආර්ථික වර්ධන අනුපාතය හැර නාගරික නව රැකියා මිලියන 11කට වැඩි ප්‍රමාණයක් බිහි කිරීම, පරිභෝගික භාණ්ඩ මිල වර්ධන අනුපාතය සියයට 3ක මට්ටමේ පවත්වා ගැනීම , දළ දේශීය නිෂ්පාදිත ඒකකයක් වෙනුවෙන් බලශක්ති පරිභෝජනය සියයට 3කින් අඩු කිරීම, ආහාර නිෂ්පාදනය කිලෝග්‍රෑම් බිලියන 650කට වැඩි තත්ත්වයේ පැවතීම මේ වසරේ චීන සංවර්ධන ප්‍රධාන ඉලක්කයන්ට ඇතුළත් ය.

    14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ පොදු සමෘද්ධිමත් ක්‍රියාදාමය සම්පාදනය කිරීමට චීනය පියවර ගනී. රැකියා නියුක්තිය ප්‍රමුඛත්වය ලෙසට සලකා එහි ධාරිතාව පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඒක පුද්ගල ආදායම් සහ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයන් ඉටු කිරීමට චීනය ක්‍රියා කරයි. සෞඛ්‍ය සම්පන්න චීන සංවර්ධනය අංග සම්පූර්ණයෙන් ම ඉදිරියට ගෙන යමින් ඒක පුද්ගල දළ ආයු අපේක්ෂාව වසරකින් දීර්ඝ කර ගැනීමට චීනය අපේක්ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා පැවසීය. ජනගහණ වැඩිහිටිකරණ කළමණාකරනයට ජාතික උපක්‍රමයන් සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරමින් සුදුසු උපත් මට්ටම පවත්වා විශ්‍රාමික වයස් සීමාව පියවරෙන් පියවරට දීර්ඝ කිරීමට චීනය පියවර ගනු ඇත. බහු මට්ටම් සමාජ සංරක්ෂණ පද්ධතිය බිහි කරමින් වැඩිහිටි රක්ෂණ සේවා ආවරණ ප්‍රතිශතය සියයට 95 දක්වා පුළුල් කළ යුතු බව ද චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ප්‍රකාශ කළේ ය.

    Latest News