අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීම අද

ජන 20, 2021

    ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දෙනවා.

    උත්සවය පැවැත්වෙන්නේ අමෙරිකා යුනයිටඩ් යන තේමාවෙන්. කැපිටල් ගොඩනැගිල්ලේ බටහිර කොටසේ දී ලොව බලවත්ම රාජ්‍යයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාව කෙරෙහි මේ වනවිටත් සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මේ අතර දේශපාලන අර්බුද ගණනාවකට පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ධවල මන්දිරයෙන් නික්ම ගියා.

    ජෝ බයිඩන් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් මධ්‍යාන 12ට පමණ ආරම්භවීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 පමණ වනවා. උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ද සිය තනතුරේ අද දිවුරුම් දෙනු ඇති. ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දෙන්නේ එරට අභ්‍යන්තර සහ බාහිර ගැටලු රැසක් පැන නැගී ඇති අවස්ථාවකයි. ඔහුට මුහුණ දීමට සිදුවන දැවැන්ත අභියෝගයක් ලෙස කොරෝනා ව්‍යාප්තිය පාලනය සැළකෙනවා.

    දිවුරුම්දීමේ උත්සවය මෙවර පුද්ගලයින් දහසකට සීමාවී ඇත්තේ වෛරස ව්‍යාප්තිය හේතුවෙන්. මේ වන විටත් වොෂිංටන් අගනුවර දැඩි ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මකයි. ජෝ බයිඩන් සාම්ප්‍රදායිකව දිවුරුම් දෙන්නේ අගවිනිසුරු ජොන් රොබට්ස් ඉදිරියේ දී. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි. උප ජනාධිපති කමලා හැරිස් දිවුරුම් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොට්මයර් ඉදිරියේදී.

    උළෙල ආවරණය සඳහා මේ වන විටත් ලොව පුරා මාධ්‍යවේදීන් රැසක් වොෂින්ටන් නුවරට පැමිණ ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. ජෝ බයිඩන් දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීමට පැමිණීමට පෙර ඩෙලවෙයාර් හි දි පැවැති උත්සවයකදී 2015 වසරේ මොළේ පිළිකාවක් හේතුවෙන් 46 හැවිරිදි වියේ දී මිය ගිය තම පුතුද සිහිපත් කළා. දිවුරුම් දිමෙන් පසු ජන ජනාධිපතිවරයා ආර්ලින්ටන් ජාතික සුසාන භූමියට ගොස් නාදුනන සොල්දාදුවා ගේ සොහොනට මල් කළඹක් තැබීම් චාරිත්‍රය ට ට එක්වනු ඇති. ඉන්පසු පහළ වන වීථියේ සිට ධවල මන්දිරය දක්වා ජනාධිපතිවරයා පැමිණෙන්නේ යුධ හමුදා ආරක්ෂාව යටතේ.

    දිවුරුම් දීමේ උත්සවයෙන් පසු සාමාන්‍යයෙන් පැවැත්වෙන බෝල්රූම් නර්තන උත්සවය මෙවර නොපැවැත්වෙන නමුත් ලේඩි ගාගා ජෙනිෆර් ලොපේස් සහ ටොමී කීත් ඇතුළු සුප්‍රකට කලාකරුවන් සහභාගි වන ප්‍රසංගයක් සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    මේ අතර ප්‍රථම වතාවට තරුණ ඇමරිකානුවන් සඳහා විශේෂ සජීව වැඩසටහනක් ද දිවුරුම්දීමේ උත්සවයට පෙර විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය අමරිකානු ඉතිහාසයට වාර්තා රැසක් එක් කළ අතරම ජෝ බයිඩන් ගේ ධූර කාලයද එරට සුවිශේෂී වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ. කමලා රාජකාරි ආරම්භ කරන්නේද ආසියානු සම්භවයක් සහිත එරට පළමු උප ජනාධිපතිවරිය ලෙසයි.

    Latest News