මිනිසාගේ පැරණිතම සිතුවම ඉන්දුනීසියාවෙන් හමුවෙයි

ජන 15, 2021

    මිනිසා විසින් සිතුවම් කරන ලද මෙතෙක් හමුවී ඇති පැරණිතම ගල්ගුහා සත්ව චිත්‍රය ඉන්දුනීසියාවෙන් සොයා ගෙන තිබේ.

    ඉතිහාසඥයන් පවසන්නේ, එය වසර 45,500ක් පමණපැරණි බවයි. වනාන්තර බද ගල්ගුහාවක් තුළ සිතුවම් කර ඇති මෙමගින් පිළිබිඹු වන්නේ වල් ඌරෙකුගේ රූපයක්. සිතුවමට ඉහළින් පුද්ගල දෑතක් වැනි සිතුවමක් ද දක්නට ලැබෙයි.

    වල් ඌරෙකුගේ සජීවී ප්‍රමාණයේ රූපයක් වන එය සෙන්ටිමීටර් 136ක් පළලින් හා සෙන්ටිමීටර් 54ක් උසින් යුක්තයි. ගල්ගුහාව තුළ ඌරන් තිදෙනෙකුගේ සිතුවම් පැවතිය ද ඉන් 2ක් විනාශයට පත්ව තිබේ.

    මේ සිතුවම් ‍සොයා ගැනීමත් සමග එම කලාපයේ පැරණිතම ජනාවාස පිළිබඳ සාධක ද හමුවී ඇති බවයි ඉතිහාසඥයින් පවසන්නේ. මෙම සිතුවම් මිනිසා විසින් කිසියම් වස්තුවක් නිරූපනය වන පරිදි අදින ලද පැරණිම සිතුවම බව ද ඔවුන් පෙන්වා දෙයි. මිනිසා විසින් අදින ලද ලොව පැරණිතම සිතුවම හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්. එය වසර 73,000ක් පමණ පැරණි වන අතර එහි සටහන් වන්නේ ගලක්මත අදින ලද රේඛා කිහිපයක්.

    Last modified on සිකුරාදා, 15 ජනවාරි 2021 12:06

    Latest News