ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය ප්‍රකාශ කරයි

ඔක් 25, 2020

    අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් තුන්වැනි දිනයි.

    මැතිවරණවලදී නියමිත දිනයට කලින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමෙරිකානුවන්ට හිමිව ඇති සුවිශේෂි අවස්ථාව උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයා ඊයේ මෙසේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    ඒ, ෆ්ලෝරීඩා හි ඔහුගේ නිකේතන නිවහන ආසන්නයේදී. අමෙරිකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය ඉදිරියේ දී තවදුරටත් දරුණු විය හැකි බැවින් ජනාධිපතිවරයා මෙසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හේතු වූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සිය මුව ආවරණය ඉවත්කර එම ස්ථානයේ සිටින පුද්ගලයින් අමතමින් පවසා ඇත්තේ ට්‍රම්ප් නමැති තරුණයෙකු වෙනුවෙන් තමා සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි.

    මේ අතර ඊයේ දිනය වනවිට අමෙරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අසූ තුන්දහස ඉක්මවා ගියේ එරට කොරෝනා ඉතිහාසයේ නව වාර්තාවක් තබමින්.

    එය මේ වසංගතය ආරම්භ වූ දා පටන් අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වූ ඉහළම අසාදිතයින් සංඛ්‍යාව ලෙස සැලකේ.

    කෙසේ වෙතත් සිය ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මීට වඩා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩාත් ආරක්‍ෂාකාරී වන බවයි.

    Latest News