ඉරානයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජූනි 30, 2020

    ඉරානය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

    ඒ, ඉරානයේ හිටපු හමුදා ප්‍රධානී කාසිම් සොලෙයිමානි ඝාතනය කිරීම සම්බන්ධයෙන්.

    ඉරාන නීති නිලධාරීන් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් 35 දෙනෙකුට විරුද්ධව මනුෂ්‍ය ඝාතනය සහ ත්‍රස්තවාදී චෝදනා ගොනුකර ඇති බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහය වන ලෙස ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලිසියෙන් ඉරානය ඉල්ලීමක් ද කර තිබේ.

    නමුත් ඉන්ටපෝල් ආයතනය පවසන්නේ ඔවුන් ඉරානයේ ඉල්ලීම සලකා නොබලන බවයි. ඉරානය පිළිබඳ අමෙරිකානු නියෝජිත බ්‍රයන් හුක් කියා සිටින්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි ඉරාන වරෙන්තුව හුදෙක් ඉරානයේ ප්‍රචාරක වැඩපිළිවෙළක් පමණක් බවයි. ඉරානයේ හිටපු හමුදා ප්‍රධානී කාසිම් සොලෙයිමානි පසුගිය ජනවාරි මාසයේ දී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගියේය. ඒ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී.

    සුලෙයිමාන් ඝාතනය කළේ, අමෙරිකාව බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. විදෙස් රටවල ඉරානය සහ ඔවුන්ට හිතවත් හමුදා ශක්තිමත් කිරීම සඳහා සුලෙයිමානි විශාල කාර්ය භාරයක් ඉටුකළ අයෙක්.

    Latest News