පකිස්තානයේ “කාවන්“ නිදහස්

මැයි 23, 2020

    පුළුල් අන්තර්ජාතික අවධානයට ලක්වූ පකිස්තානයේ කාවන් නමැති හස්ථියා පිළිබඳ නඩු විභාගය ඊයේ අවසන් විය.

    මේ හස්ථියා 1985 වසරේ ශ්‍රී ලංකාව විසින් පකිස්තානයට තෑගි කරනු ලැබීය. මෙම නඩුව ලොව පුරා වනසත්ව ක්‍රියාකාරීන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකනු ලබයි.

    කාවන් හස්ථියා වසර 35කට අධික කාලයක් ජීවත් වූයේ පකිස්තානයේ ඉස්ලාමාබහ්හි මර්ගසාර් සත්වෝද්‍යානයේ. එහි සිටි එකම හස්ථියා වූයේ කාවන් පමණි. එමෙන්ම, අලියෙකුට ජීවත්වීමට සුදුසු වාතාවරණයක එම සත්වයා රඳවා නොතිබූ බව පකිස්තානයේ සත්වලෝලීන් චෝදනා කළේය. සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය කාවන්ට නිසි පරිදි සලකන්නේ නැති බවටත්, ඇතැම් අවස්ථාවල හිංසාකරන බවටත්, චෝදනා එල්ලවී තිබිණ. අවසානයේ අත්සන් දෙලක්‍ෂයකින් යුත් පෙත්සමක් අත්සන් තැබුණේ, කාවන්ට නිදහස ලබාදෙන මෙන් ඉල්ලමින්.

    සුප්‍රකට පොප් ගායිකා චේර් ඇතුළු ගෝලීය ක්‍රියාකාරීන් මේ වැඩපිළිවෙළට දායක වූහ. ප්‍රශ්නය අවසානයේ පකිස්තාන මහාධිකරණය හමුවේ විභාගයට ලක් කෙරිණ. ඊයේ තීන්දුව ලබාදෙමින් පකිස්තාන මහාධිකරණය එරට වන සත්ව දෙපාර්තමේන්තුවට නියෝග කළේ දින 30ක් තුළ කාවන් පකිස්තානයේ හෝ වෙනත් සුදුසු රටක අභයභූමියකට මුදා හරින ලෙසයි.

    ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්දේශ හා උපදෙස් ලබාගන්නා ලෙසට ද මහාධිකරණය නියෝග කළේය. කාවන් පමණක් නොව සත්වෝද්‍යානයේ රඳවා ඇති දුඹුරු වලසුන්, සිංහයන් හා පක්‍ෂීන් ද වෙනත් ස්ථානවල රඳවා සත්වෝද්‍යානයේ එම සතුන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ. නඩු තීන්දුව සැලවූ පොප් ගායිකා චේර් සිය ට්විට්ර් ගිණුමේ සඳහන් කළේ මෙය තම ජිවිතයේ බොහෙවින් ප්‍රීතිමත් අවස්ථාවක් ලෙසටයි. කාවන්ට නිදහස හිමිවන බව ඇසීමෙන් තමාගේ දෑසට කඳුුළු ඉනූ බව ද චේර් සිය ට්විටර් සටහනේ දක්වා තිබිණ.

    Latest News