13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැයිවාරය බෙයිජිංහි දී ඇරඹේ

මැයි 22, 2020

    13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ‍ වෙයි.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීනයේ පක්ෂ සහ රජයේ නායකයෝ එම සැසිවාරයට සහභාගි වූහ. ඊට එක්වූ සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 2897 කි. කොරොනා වසංගතය හේතුවෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය වසර 22 කට පසු මැයි මාසයට කල් දැමූ පළමු අවස්ථාව මෙයයි. ආරම්භක උත්සවයේදී සියලුම නියෝජිත‍යෝ ප්‍රථමයෙන්ම කොරොනා වසංගතය පරාජයට පත් කිරීමේදී දිවි පිදූ වීරවරයින් සහ වසංගතය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් නිශ්ෂබ්දතාවක් සුරැකූහ.

    චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සැසිවාරයට ගිය වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරන අතර මෙම වසරේ කාර්ය වැඩසටහන් පිළිබඳ යෝජනා පරීක්ෂා කර සාකච්ඡා කිරීම සඳහා සැසිවාරයට ඉදිරිපත් කෙරේ. නීති සම්පාදනයට සම්බන්ධ න්‍යාය පත්‍රය ද මෙවර සැසිවාරයේදී පරීක්ෂා කර සාකච්ඡාවට ලක් කෙරේ. සිවිල් නීති සංග්‍රහය පිළිබඳ කෙටුම්පත සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය ජාතිකාරක්ෂාව සහතික කිරීමේ නීති ක්‍රමය හා මෙහෙයුම් පද්ධතිය බිහි කිරීම පිළිබඳ තීන්දු කෙටුම්පත ද ඊට ඇතුළත් ය.

    සංවර්ධනය අසීරුතා හා අභියෝග රැසක් හමු වේ චීනය 2019 වසරේ ප්‍රධාන ඉලක්ක සම්පූර්ණ කර ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා එහිදී පැවසීය. 2019 වසරේ චීන ආර්ථික සංවර්ධනය සමස්ත ලෙස ස්ථීර තත්ත්වයක පවත්වා ගනිමින් ජන ජීවිතය තවදුරටත් යහපත් වී තිබේ. ඉන් සම්පූර්ණයෙන් ම සුවපහසු සමාජයක් බිහි කිරීමේ තීරණාත්මක පදනමක් ගොඩනගා ඇත.

    2019 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ටි‍්‍රලියන 99.1කි. එය 2018 වසරේ අගයට වඩා සියයට 6.1ක වර්ධනයකි. නව නාගරික රැකියා සංඛ්‍යාව මිලියන 13.52කි. ග්‍රාමීය දිළිඳු ජනගනය මිලියන 11.09කින් අඩු වී තිබේ. වැසියන්ගේ ඒක පුද්ගල උපයෝජ්‍ය ආදායම චීන යුවාන් තිස් දහසක් ඉක්මවා ගොස් ඇත.

    රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ පිළිබඳ තුන්අවුරුදු ක්‍රමෙව්දය ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වන බව අද සාකච්ඡාවට ඉදිරිපත් කෙරුණු වසර 2020 චීන රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි. රජය සතු ව්‍යාපාර සිය ප්‍රධාන කර්මාන්තයන්ට යොමු වෙමින් වෙළඳකරණ කළමනාකරණ ක්‍රමය පරිපූර්ණ කරමින් සිය තරගකාරීත්වය ඉහල නැංවිය යුතු බව ද එහි සඳහන් වෙයි.

    මේ අතර පෞද්ගලික ව්‍යාපාර ආර්ථිකයේ වර්ධන පරිසරය යහපත් කළ යුතු බව ද එම වාර්තාව පෙන්වා දෙයි. පෞද්ගලික ව්‍යාපාරවලට සාධාරණ ලෙස නිෂ්පාදන සම්පත් හා ප්‍රතිපත්තිමය අනුබලය හිමි වීම සහතික කළ යුතුය. එම ව්‍යාපාරවල තත්ත්වයට නොගැලපෙන, අහේතුක රෙගුලාසී අහෝසි කළ යුතුය. රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යාපාර සහ මධ්‍යම හා කුඩා ව්‍යාපාරවලට සිදු කළ යුතුව ඇති ගෙවීම් කෙටි කාලයක් තුළ සම්පූර්ණ කළ යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාව අවධාරණය කරයි. මේ වසරේ චීනය නිෂ්පාදන කර්මාන්තයේ අධි‍ශ්‍රේණිකරණය සහ නව කර්මාන්ත සංවර්ධනය ඉදිරියට ගෙන යනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය. ඒ සඳහා නිෂ්පාදන කර්මාන්තයට ලබා දෙන මධ්‍ය හා දිගුකාලීන ණය මුදල් විශාල වශයෙන් වැඩි කෙරෙනු ඇත.

    කාර්මික අන්තර්ජාල සංවර්ධනයටත් බුද්ධිමය නිෂ්පාදනයටත් රජය වැඩි අවධානය යොමු කරන බව ලි ක ච්‍යං මහතා කියා සිටී. චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති සකස් කරමින් ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීමට අනුබල දෙනු ඇත. චීනය විද්‍යා තාක්ෂණ නවීකරණයට සහය වීමේ ධාරිතාව ඉහළ නංවනු ඇති අතර ජාත්‍යන්තර පරීක්ෂණාගාර ඉදි කිරීම කඩිනම් කරමින් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කරනු ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    මෙම වසරේ, ව්‍යාවසායන්ට අදාළ බදු හා ගාස්තු අවම කිරීම චීනය අඛණ්ඩ ව වැඩි කරයි. අදියරෙන් අදියරට ක්‍රියාත්මක වන ලෙසට සකස් කර ඇති ප්‍රතිපත්තීන් වෙත දැඩි අවධානය යොමු කරමින්, ක්‍රමවේදයන්ට අදාළ සැකැස්ම හා සම්බන්ධ කිරීමට ද සැළසුම් කෙරේ. එමගින්, වෙළඳපොළ මුහුණ දෙන දුෂ්කරතාවන් ලිහිල් කිරීමට අපේක්ෂිත ය. ඒ යටතේ, මෙම වසර තුළ, ව්‍යාවසායන් වෙනුවෙන් බදු හා ගාස්තු අලුතින් අවම කිරීමේ වටිනාකම චීන යුවන් ට්‍රිලියන 2.5කට අධික වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ව්‍යවසායන්, විශේෂයෙන් ම මධ්‍යම, කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායන්ටත් පෞද්ගලික ව්‍යාවසායන්ටත් කටුක කාලය පසු කිරීමට හැකි තරමට සහාය ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. මේ වසරේ චීනය සියලුම දිළිදු ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට වගබලා ගත යුතු අතර සෙසු දිළිදු කෝළරවල හා ගම්මානවල දුෂ්කරතා විසඳීමේ උත්සාහයන් තීව්‍ර කළ යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි.

     

    5ec72ba8a310a8b2fa48fb72

     

    පරිභෝජනය තුළින් දරිද්‍රතාවය පිටුදැකීම සහ දරිද්‍රතාවය පිටුදැකීමේ කර්මාන්ත යථා තත්ත්වයට පත් කර සංවර්ධනය කිරීම සඳහා සහය විය යුතුය. දරිද්‍රතාවය පිටුදැකීම සහ නැවත ස්ථානගත කිරීම සඳහා පසු විපරම් සහය ශක්තිමත් කර දරිද්‍රතාවය පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය අතර ඵලදායී සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරන අතර දරිද්‍රතාවයෙන් මුදවාගත් ජනතාව‍ ගේ ආදායම් තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වසරේ, ඵලදායි ආයෝජනය පුළුල් කිරීමට චීනය සැරසෙන බව අගමැති ලී ක ච්‍යාං මහතා පවසයි.

    මේ සඳහා විශේෂ ප්‍රාදේශීය බැඳුම්කර යුවාන් ට්‍රිලියන 3.75ක් වෙන් කිරීමටත්, මධ්‍යම රජයේ පිරිවැයෙන් යුවාන් බිලියන 600ක් වෙන් කිරීමටත් පියවර ගැනෙනු ඇත. නව ආකාරයක යටිතල පහසුකම් සංවර්ධනය, නව පරපුරේ තොරතුරු ජාලය හා 5ජී ග්‍රහණය පුළුල් කිරීම යන ක්ෂේත්‍ර තුන සඳහා වැඩි අනුබලයක් සලසා දෙනු ඇත. නව ආකාරයක නාගරික සංවර්ධනයට අවධානය යොමු කරමින්, උපනගරවල පොදු පහසුකම් හා සේවා හැකියාව ඉහල නැංවීමට කටයුතු කෙරේ.

    ගමනාගමන හා වාරි මාර්ග සංවර්ධනය පිළිබඳ වැදගත් ඉංජිනේරුමය ඉදි කිරීම් ව්‍යාපෘතිවල සංවර්ධනය ශක්තිමත් කිරීමට ද පියවර ගැනේ. දුම්රිය මාර්ග ඉදි කිරීම් අරමුදලට වැඩි‍පුර යුවාන් බිලියන 100ක් වෙන් කෙරේ. වෙළඳකරණ මුදල් එක්රැස් කිරීමේ ක්‍රමවේදය යහපත් කරමින්, පෞද්ගලික ව්‍යාපාරවල සමානත්ව සහභාගීත්වයට අනුබල දිය යුතු බව ද, චීන අගමැතිවරයා සඳහන් කර ඇත.

    2020 චීන රාජ්‍ය කාර්ය වාර්තා‍වේ සඳහන් වන පරිදි මේ වසරේ රජය නිල් අහස, පිරිසිදු ජලය හා භූමි ආරක්ෂිත සටන, වැදගත් ජෛව පද්ධතිය ආරක්ෂා කිරීම හා අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම ප්‍රවර්ධනය කෙරේ. එම වාර්තාවට අනුව නීත්‍යනුකූල, විද්‍යාත්මක මෙන්ම නිරවද්‍ය වශයෙන් දූෂණය පාලනය කළ යුතු ය. බලශක්ති පිරිමැසීම හා පරිසර සංරක්ෂණ කර්මාන්තය ශක්තිමත් කිරීම, නීතිවිරෝධි වන සතුන් දඩයම් කිරීම හා ගනුදෙනු කිරීම තහනම් කිරීම, ගල් ඇඟුරු පිරිසිදු හා කාර්යක්ෂම භාවිතය ප්‍රවර්ධනය කිරීම හා ප්‍රතිජනන බලශක්ති සංවර්ධනය කිරීම ඇතුළු කරුණු ඊට ඇතුළත් ය.

    චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික නීතිය පදනම් වන ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරන අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බවයි. චීනය නිසැකවම සාමකාමී සංවර්ධන මාවත අනුගමනය කරන අතර විවෘතභවය පුළුල් කිරීමේදී සෙසු රටවල් සමඟ මිත්‍රශීලී සහයෝගීතාව පුළුල් කරනු ඇත.

    ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘධිය ප්‍රවර්ධනය කිරීමේදී චීනය සැම විටම වැදගත් බලවේගයක් වී තිබේ. චීනය මහජන සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනය ශක්තිමත් කරනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා අද (22) ප්‍රකාශ කළේ ය. චීනය ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙමින් රෝග නිවාරණ හා පාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් වසංගත රෝග පිළිබඳ සෘජු වාර්තාකරණ හා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය සම්පූර්ණ කරනු ඇති බව හෙතෙම කියා සිටියේ ය. එමෙන් ම වසංගත තොරතුරු කල් ඇතිව හා විනිවිදභාවයෙන් යුතුව ප්‍රසිද්ධ කෙරේ.

    මීට අමතරව එන්නත්, ඖෂධ හා ක්ෂණික රෝග පරීක්ෂණ තාක්ෂණයට අදාළ පර්යේෂණ කෙරෙහි චීනය වැඩි අවධානය යොමු කරන අතර හදිසි ද්‍රව්‍ය සැපයුම් සහතික කිරීම ද ශක්තිමත් කරනු ඇත. මූලික සෞඛ්‍ය සේවා මට්ටම ඉහළ නංවනු ඇතැයි චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. සෑම රටවැසියෙකුගේම සෞඛ්‍ය රක්ෂණ දීමනාව චීන යුවන් 30කින් වැඩි කරනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.   

    මෙම වසරේ රැකියා නියුක්තිය ස්ථාවර කිරීමට සහ ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට චීන රජය ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. දිළිඳුකමින් මුදවා ගැනීමේ සටන ස්ථිර ලෙස ජය ගන්නා අතර, සුවපහසු සමාජය සම්පූර්ණයෙන් ගොඩනැඟීමේ ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කෙරේ. අද (22) චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු චීන රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, මේ වසරේ චීනයේ නගරවල රැකියා අවස්ථා වැඩි කිරීමේ නව ඉලක්කය මිලියන 9 කට වඩා වැඩි, නාගරික විරැකියා අනුපාතය 6% ක් වනු ඇත. ගෝලීය වසංගත තත්ත්වය සහ ආර්ථික හා වෙළඳ තත්ත්වය පිළිබඳ විශාල අවිනිශ්චිතභාවය හේතුවෙන්, චීන සංවර්ධනය අනපේක්ෂිත ලෙස බලපාන සාධක කිහිපයකට මුහුණ දෙයි. චීන රජය 2020 වසරේ ආර්ථික වර්ධනය පිළිබඳ නිශ්චිත ඉලක්කයක් ඉදිරිපත් කර නොමැත.

    congrus 1 px 900 19 05 22

    "ස්ථාවරත්වය හයක්" සහ "සහතික හයක්" යන මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කිරීමට සියලු පාර්ශ්වයන්ට මඟ පෙන්වීම සඳහා එය හිතකර වනු ඇත. ආර්ථික ක්‍රියාකාරීත්වය ස්ථීර කිරීම සමස්ත තත්ත්වයට අදාළ කරුණකි. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන ක්‍රම මගින්, කම්පනයන්ට ඵලදායී ව මුහුණ දීමේ සහ සාර්ථකභාව‍යන් ඉටු කළ හැකි නව මාර්ගයක් සොයා ගත යුතු බව චීන රාජ්‍ය කාර්ය වාර්තාව අවධාරණය කරයි. මීළඟ අදියරේදී වසංගත වැළැක්වීමේ හා පාලන කටයුතු ලිහිල් නොකළ යුතු බවත්, ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ ඒ ඒ කාර්යයන් මැනවින් ක්‍රියාත්මක කළ යුතු බවත් එහි දැක්වේ.

    නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා විශේෂ රාජ්‍ය ණය බැඳුම්කර යුආන් ටි‍්‍රලියනයක් නිකුත් කරනු ඇතැයි, චීන අග්‍රාමාත්‍යවරයා පවසයි. සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්තිය හා ස්ථාවර මුදල් ප්‍රතිපත්තිය, මේ වසරේ චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙතෙම එහිදී පැවසීය. සක්‍රිය මූල්‍ය ප්‍රතිපත්තිය පෙරට වඩා සක්‍රියව හා ඵලදායකව ක්‍රියාත්මක කළ යුතු ය.මූල්‍ය හිඟ අනුපාතය සියයට 3.6 කට අනුව, මූල්‍ය හිඟ පරිමාණය පසුගිය වසරට සාපේක්ෂව චීන යුආන් ටි‍්‍රලියනයකින් වැඩි වනු ඇත.එමෙන්ම නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා විශේෂ රාජ්‍ය ණය බැඳුම්කර යුආන් ටි‍්‍රලියනයක් නිකුත් කිරීමට චීනය සැලැසුම් කරයි.

    එය විශේෂ කාලයේ යොදා ගනු ලබන විශේෂ පියවරකි.ඊට අමතවර,ස්ථාවර මුදල් ප්‍රතිපත්තිය පෙරට වඩා කාර්යක්ෂමව හා ප්‍රමාණවත්ව ක්‍රියාත්මක කරනු ඇතැයි ද ලී ක ච්‍යාං මහතා ප්‍රකාශ කළේය.මුදල් සැපයීමේ ප්‍රමාණය හා සමාජීය මුදල් එකතු කිරීමේ ප්‍රමාණය වැඩි වීමේ වේගය, පසුගිය වසරට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, සංචිත මුදල් අනුපාතය හා පොලි අනුපාතය අඩු කිරීම,යළි ණය ලබා දීම යන පියවර සංයුක්ති ලෙස යොදා ගන්නා බව හෙතෙම පැවසීය.චීන යුආන් විනිමය අනුපාතයේ සාධාරණ හා සමබර මට්ටම මත මූලික වශයෙන් ස්ථාවරත්වය පවත්වා ගන්නා බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    coungarus 02 px 900 19 05 2

     

    මෙම වසරේ, විදේශ ව්‍යවසායන් චීන වෙළඳපොළට ප්‍රවේශ වීමේ ඍණාත්මක ලැයිස්තුව චීනය විශාල වශයෙන් අඩු කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසීය. අන්තර් සීමා සේවා වෙළඳාම පිළිබඳ ඍණාත්මක ලැයිස්තුව නිකුත් කෙරෙනු ඇත. නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාප වෙත ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පිළිබඳ ස්වයං පාලන අයිතීන් චීනය විසින් වැඩියෙන් ලබා දෙනු ඇත. එමෙන් ම, චීනය ව්‍යවසායන් හී කාර්යභාරයන්ට සහය දෙන බවත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා අන්‍යෝන්‍ය වාසි සහිත සහයෝගිතා ක්‍රියාත්මක කරන බවත්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තව ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ඉදි කරන බවත් හෙතෙම පවසයි.

    බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේදය චීනය තරයේ ම ආරක්ෂා කරයි. කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුම්වලට අත්සන් තැබීමද චීනය ඉදිරියට ගෙන යනු ඇත. චීන -ජපාන - දකුණු කොරියා නිදහස් වෙළඳ සාකච්ඡා ඉදිරියට ක්‍රියාත්මක කෙරේ. චීන - ඇමරිකානු පළමුවැනි අදියරේ ආර්ථික හා වෙළඳ ගිවිසුම පොදුවේ අනුගමනය කිරීමට චීනය කටයුතු කරන බව ද ලී ක ච්‍යං මහතා සඳහන් කරයි.

    චීන මධ්‍යම රජය "එක් රටක්, ක්‍රම දෙකක්", "හොංකොං පාලනය කරන්නේ හොංකොං ජනතාව විසිනි", "මැකෞ පාලනය කරන්නේ මැකෞ ජනතාව විසිනි" සහ ඉහළ ස්වයං පරිපාලනය යන ප්‍රතිපත්ති, සම්පූර්ණයෙන්ම හා නිවැරදිව ක්‍රියාත්මක කරනු ඇති බව චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කෙරුනු චීන රාජ්‍ය කාර්ය වාර්තාව මගින් අවධාරණය කෙරේ. ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විශේෂ පරිපාලන කලාපයේ නීති පද්ධතිය සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සහ වැඩිදියුණු කරන අතර, විශේෂ පරිපාලන කලාපවල රජයේ ව්‍යවස්ථාමය වගකීම් ක්‍රියාත්මක කළ යුතු ය.

    චීනයේ හොංකොං සහ මැකෞ හි ආර්ථිකය සංවර්ධනය කිරීම, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ජාතික සංවර්ධනයට වඩා හොඳින් ඒකාබද්ධ වීමට අනුබල දිය යුතු ය. ‍එසේම හොංකොං සහ මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගත යුතු බව චීන රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි.

    චීන මහා ගොඩබිමේ තායිවාන ප්‍රදේශය කෙරෙහි ප්‍රතිපත්තිය එම වාර්තාව මගින් යළි අවධාරණය කර ඇත. සමුද්‍ර සන්ධි දෙපස හුවමාරු , සංවර්ධනය සහ සහයෝගීතා ප්‍රවර්ධනය කෙරේ. තායිවාන ප්‍රදේශ වැසියන්ගේ සුභසාධනය සහතික කළ යුතු ය. "තායිවාන ස්වාධීනත්වයට" ඒකාබද්ධව විරුද්ධ වන අතර නැවත එක්වීම ප්‍රවර්ධනය කිරීමට චීන මහ ගොඩබිම තායිවාන ප්‍රදේශයේ වැසියන් සමග එක්සත්විය යුතු බවද එහි දැක්වේ.

    Last modified on සිකුරාදා, 22 මැයි 2020 13:09

    Latest News