ට්‍රම්ප්ගේ යෝජනාව සෙනෙට් මණ්ඩලය ප්‍රතික්‍ෂේප කරයි

දෙසැ 22, 2018

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙනෙට් මණ්ඩලය අතර මතභේදයක ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු රාජ්‍ය යාන්ත්‍රණයේ සියයට 25ක් පමණ අකර්මන්‍ය වෙයි.

     

    මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම සඳහා ඩොලර් බිලියන 5ක් වෙන් කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් ගෙන ආ යෝජනාව සෙනෙට් මණ්ඩලය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. කොංග්‍රසය සහ ජනාධිපතිවරයා අතර මතභේද හේතුවෙන් අමෙරිකානු ඉතිහාසය තුළ මෙවැනි අක්‍රීයවීම් රැසක් සිදුව තිබේ. මේ වසරේ එවැනි අක්‍රීයවීමක් සිදුවන තෙවැනි අවස්ථාව මෙයයි.

    වසර 40කට පසු එකම වසරකදී තුන්වරක් අමෙරිකාවේ ෆෙඩරල් ආයතන අක්‍රීය වූ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. අර්බුදය පැන නැඟුණේ, ට්‍රම්ප්ගේ යෝජනාව අමෙරිකාවේ ප්‍රමුඛතාවක් නොවන බවට සෙනෙට් මණ්ඩලයේ දී ඩිමොක්‍රටික් පාක්‍ෂිකයින් විසින් පෙන්වා දෙනු ලැබීමත් සමඟයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ පිරිවැය යෝජනාවලින් කිහිපයක් අනුමත නොකිරීමට සෙනෙට් මණ්ඩලය ඊයේ තීරණය කළේය.

    ඒ අනුව ස්වදේශීය ආරක්‍ෂාව, ප්‍රවාහන, කෘෂිකර්ම, අධිකරණ වැනි දෙපාර්තමේන්තු 9ක මුදල් ප්‍රතිපාදන අහෝසි වී ඇත. ට්‍රම්ප්ගේ මුදල් පනත සෙනෙට් මණ්ඩලය තුල ඡන්ද විමසීමට ලක් නොකෙරිණ. එය අනුමත වීමට ඡන්ද 60ක් ලැබිය යුතු වුව ද, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයට සෙනෙට් මණ්ඩලයේ ඇත්තේ ආසන 51ක් පමණි. මෙම ගැටලුව හේතුවෙන් ලක්‍ෂ 8ක පමණ අමෙරිකානුවන්ට වැටුප් ගෙවීම් සම්බන්ධව ද ගැටලු පැනනැගී තිබේ. රාජ්‍ය යාන්ත්‍රණයෙන් කොටසක් අකර්මන්‍යවීමේ චෝදනාව ජනාධිපති ට්‍රම්ප් ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් වෙත එල්ල කර තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News