ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්‍ෂ 13 ඉක්මවයි

අප්‍රේ 07, 2020

    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

    55 හැවිරිදි බොරිස් ජොන්සන් ලන්ඩන්හි රෝහලකට ඇතුළත් කලේ, ඉකුත් ඉරිදා සවස් වරුවේ. දින 10ක් පුරා අඛණ්ඩව රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා අග්‍රාමාත්‍යවරයා ඉකුත් දා රෝහල් ගත කෙරිණ. අග්‍රාමාත්‍ය තනතුරේ වැඩබැලීම සඳහා විදේශ ලේකම් ඩොමිනික් රාබ් පත්කර තිබේ.

    ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, අමෙරිකාවෙන්. එනම්, නව ආසාදිතයින් 30,331 ඉක්මවූ අතර, මරණ සංඛ්‍යාව 1,255කට අධිකය.

    අමෙරිකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රය ලෙස සැලකෙන නිව්යෝර්ක් නගරය මේ වනවිට බරපතල තත්වයක පසුවන බව, අමෙරිකාවේ රූපවාහිනි වාර්තාකරු ශාලික පෙරේරා පවසයි.

    ඉකුත් පැය 24 තුළ ලොව පුරා නව කොරෝනා ආසාදිතයින් 73,142ක් වාර්තා විය. ඒ සමඟම ලොවපුරා රටවල්වලින් මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 13 ලක්‍ෂ පනස් දහස ඉක්මවයි. මරණ සංඛ්‍යාව 75,000කට ආසන්න වන අතර, සුවය ලැබූ පිරිස දෙලක්‍ෂ 87,000ක්.

    මේ අතර චීනයෙන් ඊයේ දිනය තුළ එකඳු කොරෝනා වෛරස් රෝගී මරණයක් වාර්තා වී නොමැත. වෛරසය ආරම්භ වූ රට වන චීනයෙන් මරණයක් වාර්තා නොවූ පළමු දිනය ලෙස ඊයේ දින සටහන් වේ.

    චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර ඇත්තේ, රට අභ්‍යන්තරයෙන් ඊයේ දින ඇතුළත වාර්තා වී ඇත්තේ, එක් රෝගියෙකු පමණක් බවයි. වාර්තා වූ අනෙකුත් රෝගීන් 38 දෙනාම විදේශයන්හි සිට පැමිණි අය බව, එම කොමිසම සඳහන් කරයි.

    එක් දිනක් තුළ ප්‍රංශයෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා විය. නව මරණ 833ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දහසය දහස් 500 ඉක්මවයි.

    අනතුරුව වැඩිම මරණ සංඛ්‍යාවක් ලෙස නව මරණ 700ක් ඊයේ දිනය තුළ වාර්තාවීමත් සමඟ ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව දහතුන් දහස් 300 ඉක්මවා තිබේ. සමස්ත ආසාදිත සංඛ්‍යාව එක් ලක්‍ෂ 36,500කට අධිකය.

    මේ වනවිට ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. ඒ අනුව, මරණ සංඛ්‍යාව 16,523ක්. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව එක් ලක්‍ෂ 32,500 ඉක්මවයි.

    නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් එම ධූරයෙන් පහ කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩින් පියවර ගෙන තිබේ. ඒ නවසීලන්තය මුළුමනින්ම වසා දමා ඇති මේ අවස්ථාවේ අමාත්‍යවරයා සිය පවුලත් සමඟ තම නිවසේ සිට කිලෝ මීටර 20ක් දුරින් පිහිටි වෙරළ ප්‍රදේශයක චාරිකාවක යෙදීම හේතුවෙන්. පසුගිය 25 වැනිදා සිට නවසීලන්තය මුළුමනින්ම වසා දැමිණ. එම නීති උල්ලංඝනය කරමින් එම චාරිකාවේ නිරතවීම ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

    මේ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබාගෙන ඇති ණය මේ වසරේදී අය නොකර ගන්නා ලෙසට ගෝලීය සංවිධාන ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ බව පවසමින් ගෝලීය සංවිධාන 100ක් පමණ ලෝක නායකයින් වෙත ලිපි යවා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News