අමෙරිකාවට, රුසියාවෙන් උදව්

මාර් 25, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ දැඩි අභියෝගයකට ලක්ව සිටින අමෙරිකාවට මේ මොහොතේ උදව් අවශ්‍ය නම්, උදව් ලබාදිය හැකි බව රුසියාව පවසයි.

    අමෙරිකාවේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව් පවසන්නේ, මේ අවස්ථාවේ වොෂිංටනයට උදව් කිරීමට මොස්කව් සූදානම් බවයි. කොරෝනා වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ රුසියාව මේ බව ප්‍රකාශ කළේය.

    මේ සඳහා වන රුසියානු පරීක්‍ෂණ කට්ටල අනර්ඝ තත්වයේ පසුවන බව චීනයේ දී හා ඉරානයේ දී පෙන්නුම් කළ බවත්, ඒවා දැන් ඉතාලියටත් යොමුකර ඇති බවත්, තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. තව ද ඔහු අමෙරිකානුවන් වෙත පවසා සිටියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ පමණක් නොව කැලිෆෝනියාවේ ඇති වූ ලැව්ගිනි අවස්ථාවේ දී පවා තමන් අමෙරිකාවට උදව් සැපයීමට කැමැත්තෙන් සිටි බවයි.

    කෙසේ වෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය. එනම් මරණ 163ක්. මේ අනුව මෙතෙක් අමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 784ක්. ආසාදිත සංඛ්‍යාව 55,000කට ආසන්නයි.

    Latest News