ලතින් අමෙරිකානු කලාපයේ පළමු කොරෝනා ආසාදිතයා බ්‍රසීලයෙන්

පෙබ 27, 2020

    ලතින් අමෙරිකානු කලාපයේ පළමු කොරෝනා වෛරස් නොහොත් කොවිඩ් 19 ආසාදිතයා හඳුනාගෙන තිබේ. මෑතක දී ඉතාලියේ සිට පැමිණි 61 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

    එසේම යුරෝපයේ ඉතාලිය තුළ වෛරස් ආසාදිතයින් 400කට අධික සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන තිබේ. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අසූ එක්දහස ඉක්මවයි. මියගිය සංඛ්‍යාව දෙදහස් හත්සියයකට අධික බවයි, වාර්තා වන්නේ. එසේම වෛරසයෙන් සුවය ලැබූ පිරිස ද තිස් දහස ඉක්මවීම කැපී පෙනේ. මේ වන විට ලොව පුරා රටවල් 48ක පමණ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි, වාර්තා වන්නේ. ඉකුත් පැය විසි හතර තුළ යුරෝපයේ ආසාදනවල ප්‍රධාන ඉලක්කය වන ඉතාලියේ ආසාදිතයන් සියයට විසිපහක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.ඤ කෙසේ වෙතත් චීනයට පසුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.

    එම සංඛ්‍යාව එක්දහස් පන්සියය ඉක්මවයි. නමුත් චීනයෙන් පසුව මෙතෙක් වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඉරානයෙන්. එම සංඛ්‍යාව දහ නවයක්. චීනයෙන් පිටත වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් ලොව පුරා සියලු ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අවධාරණය කළේය. කෙසේ වෙතත් ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයෙන් කොවිඩ් 19වෛරස් ආසාදිතයෙන් හමුවීමත් සමග ආජන්ටිනාව ඇතුළු කලාපයේ රටවල් වෛරස් ව්‍යාප්තිය පිළිබඳ වැඩි අවධානයකින් පසුවෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 07:35

    Latest News