“කොරෝනා“ ගොඩනැගිලිවල නල පද්ධති හරහා ව්‍යාප්ත වන්නේද යන්න විශේෂ පරීක්‍ෂණයක්

පෙබ 12, 2020

    කොරෝනා වෛරසය ගොඩනැගිලිවල නල පද්ධති හරහා ව්‍යාප්ත වන්නේද යන්න පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක් හොංකොං හි වෛද්‍ය විද්‍යාඥයන් ආරම්භ කර තිබේ.

    රෝග තත්වය සඳහා අලුත් නමක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අද පියවර ගත්තේය. කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්වය අද සිට හඳුන්වනු ලබන්නේ, “කොවිඩ් 19“ යනුවෙන්.

    රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,115 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාධිත වූ සංඛ්‍යාව 45,171ක්. ව්‍යාප්ති වේගයේ අඩුවක් මේ වනවිට පෙන්නුම් කරන අතර විද්‍යාඥයන්ගේ අදහස එය උච්චතම තලයට එළඹෙමින් තිබෙන බවයි.

    චීනයෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයේ යොකොහමා වරායේ නැංගුරම්ලා ඇති සුඛෝපභෝගී මගී නෞකාවෙන්. ඩයමන්ඩ් ප්‍රින්සස් නමැති එම නෞකාවේ කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබේ. හොංකොංහි රෝගීන් සංඛ්‍යාව ද 50 දක්වා වැඩි වී ඇති බව වාර්තාවේ. නිවාස සංකීර්ණයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෛරස් ආසාදනයට ලක්වී තිබේ. වෛද්‍යවරුන් සැකකරන්නේ, ගොඩනැගිල්ලේ නල පද්ධති හරහා වෛරසය සංක්‍රමණය වන්නට ඇති බවයි. එය තහවුරු කරගැනීමට පරීක්‍ෂණ සිදුකෙරේ.

    මේ අතර කොරෝනා වෛරස් තත්වය ආශ්‍රිත සුවිශේෂි සිදුවීම් රැසක් ද වාර්තා වේ. බෙයිජිං අගනුවර බේකරියක් ආහාර පාරිභෝගිකයන්ට ලබාදීමේ හා මුදල් භාරගැනීමේ විශේෂ ක්‍රමයක් අනුගමනය කිරීමට පටන් ගත්තේය. ඒ, සේවකයන් ආසාදනයට ලක්වීමේ තර්ජනයට අඩුකිරීම සඳහායි. නව නිරෝධායන ක්‍රමයක් මධ්‍යම චීනයේ චොංකිං ප්‍රදේශයේ දී අත්හදා බැලේ. විශේෂිත යකඩ ආවරණයක් තුලින් ගමන් කිරීමේදී පුද්ගලයෙකු තත්පර 20ක් තුළ ජීවානුහරණයට ලක්වන බව වෛද්‍යවරුන් පවසයි.

    මේ අතර රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබී 717 දෙනෙක් රෝහල්වලින් මුදාහරිනු ලැබීය. මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 3,998ක්.

    Latest News