කොරෝනා - සාර්ස් අභිබවා...රටවල් රැසක සංචාරක සීමා කිරීම්

පෙබ 02, 2020

    චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනා ගැණුන කොරොනා වෛරසය අද වනවිට ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

     

    2003 දී චීනයෙන් ව්‍යාප්ත වූ සාර්ස් රෝගය ඉක්මවා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මාස අටක කාලයක් පුරා පැතිරුණු දරුණු ශ්වසන සින්ඩ්‍රෝමයක් වූ සාර්ස් රෝගයෙන් ආසාදිතයින් වාර්තා වූයේ 8100ක් පමණයි.

    කෙරෝනා වෛරසයෙන් මේ වන විට 304ක් මියගොස් ඇති අතර රෝගය වැළඳී ඇති සංඛ්‍යාව වාර්තා වන්නේ 14,380ක් ලෙසයි. නමුත් හොංකොං විශ්වවිද්‍යාලය පවසන්නේ රෝගය වැළඳුණු සංඛ්‍යාව මෙහි දක්වා ඇති සංඛ්‍යාවන්ට වඩා අතිශයින් වැඩිවිය හැකි බවයි. ඔවුන් පවසන්නේ වූහාන් නගරයේ පමණක් 75,000කට වැඩි පිරිසකට මෙම රෝගය වැළඳී තිබිය හැකි බවයි. චීනයේ වූහාන් නගරයට ආසන්නයේ පිහිටි හූවෑන්ග් ගැංග් නගරාධිපතිවරයා පවසන්නේ, රෝගය ආරම්භ වූ පසුව සංචාරක තහනම පැනවීමට පෙර ලක්ෂ 7කට වැඩි පිරිසක්, වූහාන් නගරයේ සිට පැමිණි බවයි. එම නිසා මෙම රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රමාණය ඉතා අධික වියහැකි බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. චීන දේශ සීමාව සම්පූර්ණයෙන්ම වසා නොදැමුවහොත් හොංකොංහි රෝහල් සේවකයන් සියලු දෙනා හෙට සිට වැඩ වර්ජනයක නිරත වන බවට දැනුම් දී තිබේ. නමුත් හොංකොං බලධාරීන් පවසන්නේ, එසේ කළ නොහැකි බවයි.

    චීනය ආසන්නයේ ඇති රටවල් රැසක් චීන දේශ සීමාවන් වසා දමා ඇති අතර ලෝකයේ රටවල් බොහේ ප්‍රමාණයක් මේ වන විට චීන සංචාරකයන්ට හෝ චීනයේ සිට පැමිණෙන අයට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර අමෙරිකාව,රුසියාව,ජපානය,පකිස්තානය,ඉතාලිය හා ඔස්ට්‍රේලියාව ද වෙයි. මේ වන විට චීනයට අමතරව රටවල් 23කින් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සිය දෙනෙක් වාර්තා වී තිබේ. එසේම චීනයේ සියලු ප්‍රාන්තවලින් රෝගීන් වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ සංචාරක තහනමක් පැනවීම අත්‍යවශ්‍ය නොවන බවයි. එම සංවිධානය අවධාරණය කරන්නේ, චීනයේ සිට පැමිණෙන පුද්ගලයන් නිසි පරීක්ෂාවකට ලක්කිරීම ප්‍රමාණවත් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සංචාරක තහනමක් පැනවීම මගින් ආර්ථිකයන්ට විශාල බලපෑමක් එල්ල වන බවයි. එසේම පුද්ගලයන් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් නිසි අධීක්ෂණයකින් තොරව රටවල් තුළට ඇතුළුවීම හේතුවෙන් වෛරසය පැතිරීම වැඩිවිය හැකි බවත් එම සංවිධානය අනතුරු අඟවයි. මේවන විට කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2003 වසරේ පැතිර ගිය සාස් වසංගතයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ. නමුත් සාස් වසංගතයට සාපේක්ෂව කොරෝනා වෛරසයෙන් වාර්තා වූ පමණ සංඛ්‍යාව බෙහෙවින් අඩු අගයක් ගෙන තිබේ.

     

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 12:10

    Latest News