කොරෝනා වෛරසයෙන් 106ක් මියයයි..ආසාදිතයින් 4,500 ඉක්මවයි

ජන 28, 2020

    චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, එක් දිනක් තුළ ආසාදිතයින් වාර්තා වූ සංඛ්‍යාව දෙගුණයක් වූ බවයි.

    මේ වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 4,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය වන විට වාර්තා වී තිබූ රෝගීන් සංඛ්‍යාව 2,835යි. චීනය මේ වන විට එරට සංචාරක තහනම තවත් දැඩිකර තිබේ. නගරයේ අත්‍යවශ්‍ය වාහන හැර, අනෙකුත් සියලුම රථ වාහන ගමනාගමනය ද තහනම් කිරීමට බලධාරීන් පියවර ගැනිණ. වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම එහි අරමුණයි. රෝගයෙන් මිය ගිය බොහෝ දෙනා මීට පෙර ස්වසන ආබාධ සහිතව සිටි වයස්ගත පුද්ගලයින්. චීනයේ හූබෙයි නගරයේ සිට පැමිණෙන සියලුදෙනා දින 14ක නිරෝධායන කාලයකට යටත් කිරීමට ෂෙන්හායි සහ බෙයිජිං බලධාරීන් කටයුතු කර තිබේ.

    අමෙරිකා එක්සත් ජනපදය තම රට වැසියන්ට උපදෙස් දී ඇත්තේ චීනයට සංචාරය කිරීම පිළිබඳව සළකා බල ලෙසයි. ඉදිරි දින කිහිපය ඇතුළත චීනයේ වූහාන් නගරයේ සිටින කොන්සල් නිලධාරීන් සියලුදෙනා යළි අමෙරිකාවට ගෙන්වා ගැනීමට අමෙරිකාව පියවර ගන්නා බව සඳහන් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, චීනයේ හැර අනෙකුත් රටවලින් කොරෝනා වෛරස් රෝගීන් 47ක් වාර්තාවී ඇති බවයි.

     

     

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 09:47

    Latest News