කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි.

ජන 24, 2020

    ලොව පුරා ‘කොරෝනා‘ වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවා තිබේ.

    ඉන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමද කොරෝනා වෛරසයෙන් ඇතිවිය හැකි ආසාදන අවම කිරීම සඳහා පූර්ව ආරක්‍ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ගෙන තිබේ. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, තායිවානය, දකුණු කොරියාව, තායිලන්තය, ජපානය, හොංකොං, විට්නාමය සහ සිංගප්පූරුව යන රටවලින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනිණ. වැඩිම පිරිසක් වාර්තා වන්නේ චීනයෙන්. චිනයේ වූහාන් ප්‍රදේශය අතුලු නගර 10 කට ඇතුළුවීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. සියලුම පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    මිලියන 20 ක පමණ ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපැම් එල්ල වී ඇති බවද වාර්තාවේ. උදාවන චීන චන්ද්‍ර නව වසර වෙනුවෙන් බීජිං හා හොංකොං හි පැවැත්වීමට නියමිතව තිබූ උත්සව රැසක්ද අවලංගු කර තිබේ. එම ප්‍රදේශවල මහජන හමුවීම්ද තහනම්. චීනයේ බීජිං සහ ෂැංහයි ඇතුලු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට චීන රජය පියවර රැසක් ගෙන ඇතැයි බීජිං නුවර සිටින අප වාර්තාකරු මෝතිලාල් හිස්සැල්ල පවසයි.

    උණ, ස්වසන අපහසුතා, සෙම්ප්‍රතික්‍ෂාව සහ ඒ සමග හටගන්නා නිව්මෝනියා තත්වය මෙම වෛරසයේ ලක්‍ෂණය. මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වැළඳෙන රෝගයක් බවට අනාවරණය වී තිබේ. මූලික පරික්‍ෂණවලින් හෙළිවී ඇත්තේ වෛරසය සතුන් සහ මිනිසුන් අතර ද සම්ප්‍රේෂණය වන බවය. නමුත් එය තහවුරුවී නැහැ. රෝගී තත්වය සුව කිරීම සඳහා තවමත් කිසිදු ඖෂධයක් සොයා ගැනීමට හැකිවී නැහැ. රෝගීන් හඳුනා ගැනීමට රටවල් රැසක ගුවන් තොටුපලොවල විශේෂ ස්කෑනර් පද්ධති සවිකර තිබේ. වෛරසය ආසාදිත පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා පසුගියදා කටුනායක ගුවන් තොටුපොලේ පැමිණීමේ පර්යත්නයේ විශේෂ ස්කැනර් යන්ත්‍ර 3 ක් ස්ථාපනය කර තිබේ.

    Latest News