වෛරසය නිසා චීනයේ වූහාන්හි පොදු ප්‍රවාහනය සේවය නවතී

ජන 23, 2020

    චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මිලියන 9කට ආසන්න ජනගහණයක් වෙසෙන වූහාන් නගරයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීමට අදාළ පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    එළැඹෙන චන්ද්‍ර නව අවුරුදු නිවාඩුව සඳහා මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් විවිධ නගර වෙත ගමන් කරයි. ඒ හේතුවෙන් වෛරසය පැතිරයාමේ අවදානම ඉහළයා හැකි බවටයි, බලධාරීන් අනතුරු අඟවන්නේ. එබඳු වාතාවරණයක නගරයෙන් පිටතට නොයන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ. මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 500ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් මියගිය පුද්ගලයින් ගණන 17ක්. 2019 එන්.සී.ඕ.වී ලෙස මෙම වෛරසය හඳුන්වා ඇති අතර, එය කොරෝනා වෛරසයේ කලින් හඳුනාගෙන නොමැති ප්‍රභේදයක් බවයි, වාර්තා වන්නේ.

    2000 දශකයේ මුල් භාගයේ පුද්ගලයින් 800කට ආසන්න පිරිසක් මියගිය සාර්ස් වෛරසයට සමානකම් කොරෝනා වෛරසයෙන් හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ජීනීවාහි සාකච්ජාවලින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව නිවේදනය කර ඇත්තේ වෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම තවමත් අත්‍යවශ්‍ය නොවන බවයි. වෛරසය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධ තීරණයකට එළැඹෙනු ඇති. ගෝලීය හදිසි තත්වයක් යනු ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සිදුවන අවස්ථාවක්. සූකර උණ, සිකා වෛරසය හා ඉබෝලාවලට එවැනි ගෝලීය අනතුරු ඇඟවීම් මින් පෙර නිකුත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 08:12

    Latest News