එංගලන්තය සහ දකුණු අප්‍රිකාව රග්බි අවසන් මහ තරගයට

ඔක් 27, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව අද සමත්විය.

    ඒ අනුව ලබන මස දෙවැනිදා අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. දකුණු අප්‍රිකාව සහ වේල්ස් කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අද පැවැත්වුණේ යොකෝහමා ක්‍රීඩාංගණයේදී. තරගයේ තුන්වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් දකුණු අප්‍රිකාව පළමුවෙන් ලකුණු රැස් කළේය. පළමු අර්ධය නිමාවන විට දකුණු අප්‍රිකාව ලකුණු 9ක් රැස්කර ගෙන සිටි අතර වේල්ස් කණ්ඩායම ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6ක්. තරගයේ 65 වන මිනිත්තුව වනවිට දෙපිළම ලකුණු 16 බැගින් රැස්කර ගනිමින් සම තත්වයේ පසුවූහ. තරගයේ 76 වන මිනිත්තුවේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හැන්ඩ්‍රි පොලාඩ් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමග තරගයේ වැඩි වාසි ඔවුන්ට හිමිවිය.

    නියමිත කාලය අවසන් වුණේ, ලකුණු 19-16ක් ලෙස ලකුණු 3ක තියුණු ජයක් දකුණු අප්‍රිකාවට හිමිකර දෙමින්. දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසි තුන්වැනි අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 1995 සහ 2007 වසරවලදී අවසන් තරගයට පිවිස ශුරතාව හිමිකර ගෙන තිබේ.ප්‍රතිවාදී වේල්ස් කණ්ඩායම අවස්ථා තුනකදී අවසන් පූර්ව වටයට පිවිසිය ද තවමත් ලෝක ශුරතා රග්බි තරගාවලියේ අවසන් තරගයට පිවිස නැහැ. 2007 වසරේ පැවති ලෝක ශුරතා තරගාවලියේ දී ද අවසන් තරගයට ක්‍රීඩා කලේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තයයි. ඉන් දකුණු අප්‍රිකාව ජය වාර්තා කළේය.

    Last modified on ඉරිදා, 27 ඔක්තෝබර් 2019 19:51

    Latest News