පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ඔක් 06, 2019

    පකිස්තානයට එරෙහිව පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය ලකුණු 64කින් ජය ගැනිමට ශ්‍රී ලංකාව සමත්විය.

    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැතිව නව නායක දසුන් ශානක යටතේ මෙම ජයග්‍රහණය වාර්තා කිරීම ද විශේෂත්වයක්. පකිස්තානයේ ලාහෝර් නුවර දී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් පකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ලකුණු 84ක සබඳතාවත් ගොඩනැගීමට සමත්වුහ. ධනුෂ්ක ගුණතිලක තම දෙවැනි 20-20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57ක්. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 33ක් සහ භානුක රාජපක්‍ෂ ලකුණු 32ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්.

    පකිස්තාන කණ්ඩායමේ මොහොමඩ් ෆස්නයින් ඊයේ තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කිරිමට සමත්විය. පිළිතුරු ලෙස ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් සමඟ පකිස්තාන ඉනිම ආරම්භ කළේ, බාබර් අසාම් සහ අහමඩ් ෂෙෂාඩ්. පකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 22ක් තුළ ගැලවී ගියේය. ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 25යි. සෆ්රාස් අහමඩ් ලකුණු 24ක් සහ බාබර් අසාම් ලකුණු 13ක් රැස් කළේය. පකිස්තාන කණ්ඩායමේ සෙසු කිසිම පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසුකළේ නැත. ඔවුන් පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 101ක් පමණයි. ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් කඩුලු 03 බැගින් බිඳ හෙලූහ. වනිඳු හසරංග කඩුලු 2යි. තරගයේ වීරයා ධනුෂ්ක ගුණතිලක. ශ්‍රී ලංකාව පකිස්තාන කණ්ඩායමට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජයගත් 20-20 තරගය ලෙස ද මෙය වාර්තා වේ. මේ අතර, පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව 20-20 තරගයක් ජය ගත්තේ වසර 6කට පසුව වීම ද විශේෂත්වයක්. දෙරට අතර දෙවන 20-02 තරගය පකිස්තානයේ ලාහෝර් ගඩාෆි නුවර ක්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.

    Latest News