පන්දු 4කදී කඩුලු 4කින් මාලිගේ වාර්තා පොත අලුත්වේ

සැප් 07, 2019

    ජාත්‍යන්තර 20-20 පිටියේ කඩුලු 100ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ සමත්විය.

    එමෙන්ම 20-20 ක්‍රිකට් පිටියේ පිට-පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් ලොව දෙවැනි පන්දු යවන්නා ලෙස ද ඔහු ඊයේ වාර්තා පොතට එක්විය. ඒ නවසීලන්තයට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි 20-20 තරගයේදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 125ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 126ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 88ක් පමණි. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ ලසිත් මාලිංග නවසීලන්ත ඉනිමේ තුන්වැනි පන්දු වාරයේ, තුන්වැනි පන්දුවේදී කොලින් මුන්රෝ දවා ගනිමින් තම සියවැනි 20-20 කඩුල්ල දවාගත්තේය. ඒ එම දස්කම දැක්වූ ලොව පළමු පන්දු යවන්නා බවට ද පත්වෙමින්. ඒ අනුව එක් දින, 20-20 සහ ටෙස්ට් යන අංශ තුනෙහිම කඩුලු 100ක් දවාගත් ලොව එකම පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි. මාලිංග මීළඟ පන්දුවේදී හමීෂ් රදරෆර්ඩ් දවාගැනිමට සමත්විය. තුන්වන පන්දු වාරයේ පස්වන පන්දුවේ දී කොලින් ඩි ග්‍රෑන්ඩිහෝම් ද මාලිංග හමුවේ දැවී ගියේය.

    ඒ අනුව, 20-20 ක්‍රිකට් පිටියේ තම දෙවැනි කඩුලු ත්‍රිත්වය ද හිමිකර ගැනීමට ලසිත් මාලිංග සමත්විය. ඉන් නොනැවතුන මාලිංග මීළඟ පන්දුවේ රොස් ටේලර් දවාගත්තේ, 20-20 ජාත්‍යන්තර පිටියේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමිනි. මීට පෙර එම දස්කම දක්වා තිබුණේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්, අයර්ලන්තයට එරෙහිවයි. ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී මෙම දක්‍ෂතාව දැක්වූ දෙවන අවස්ථාව මෙයයි. 2007 වසරේ ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ දී මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව මීට පෙර මෙම දක්‍ෂතාව දක්වා තිබේ. ලොව වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු මෙතෙක් දෙවතාවක් මෙම දක්‍ෂතාව දක්වා නැත. ලසිත් මාලිංග තම ක්‍රිකට් දිවියේ මේ දක්වා කඩුලු ත්‍රිත්ව 5ක් ලබාගැනීමට සමත්වී තිබේ. ඔහු එක්දින පිටියේ දකුණු අප්‍රිකාවට,කෙන්යාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිවත්, 20-20 පිටියේ බංග්ලාදේශය සහ නවසීලන්තයට එරෙහිවත් කඩුලු ත්‍රිත්ව දවාගෙන තිබේ. තම නම ඉදිරියේ වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවක් වාර්තාවන පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 19:41

    Latest News