පකිස්තාන තරගාවලියට කණ්ඩායම තේරීමට ඇමතිගෙන් යෝජනාවක්

අගෝ 30, 2019

    පකිස්තානයේ පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී ක්‍රීඩකයින්ගේ අදහස් පිළිබඳව ද අවධානය යොමු කරන බව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රී ලංකා-පකිස්තාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා සිට ඔක්තෝබර් 9 දක්වා පකිස්තානයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා-පකිස්තාන තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ද ඇතුළත්. එක්දින තරග තුන කරච්චිහිදී පැවැත්වේ. 20-20 තරග පැවැත්වෙන්නේ ලාහෝර් හිදී. 2009 වසරේ මාර්තු මස 03 වැනිදා ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ දී ජාත්‍යන්තර තරග පැවැත්වීම අත්හිටුවා තිබුණා. 2015 වසරෙන් පසුව පකිස්තානයේදී එක්දින තරග තුනක් සහ 20-20 තරග 6ක් පවත්වා තිබේ. 2017 වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලාහෝර්හිදී එක් 20-20 තරගයක් පැවැත්විණ. ඒ දැඩි ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ. අද පැවති උත්සවයකින් අනතුරුව තරගාවලිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...

    “මම හිතන්නේ පකිස්තානය අපිත් එක්ක බොහොම හිතවත් රටක්. ක්‍රීඩකයන්ගේ පොඩි අවධානයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. සුරංග ලක්මාල් ගත්තොත් ඔහුට වෙඩි වැදිච්ච ක්‍රීඩකයෙක් එදා. සුරංග ලක්මාල් ඉන්නේ තවම ඒ භීතියෙන්. ක්‍රිකට් ආයතනය මට කිව්වේ මුලින්ම තරග තුනකට යනවා කියලා. තරග 06කට යන්න වෙලා තියෙනවා. මම ක්‍රීඩකයොත් එක්ක කතා කළේ නැහැ. කිහිප දෙනෙක් කිව්වා ගෙවල්වලින් බයයි යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයොත් එක්ක කතා කරයි. මට එන්නේ අවසානයටනේ. හදිස්සියෙන් හරි යනවනම් මමත් යනවා ක්‍රීඩකයින්ට විශ්වාසය දෙන්න, ක්‍රීඩකයොත් එක්ක රැදෙන්න බලාපොරොත්තු වෙනවා යැයි“ අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 19:50

    Latest News