අකිලගේ ඉරියව්ව ගැන ICCයෙන් යළිත් චෝදනා

අගෝ 20, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යළිත් වරක් පවසා තිබේ.

    මේ අතර නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීම ද නීති විරෝධී බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ සහ කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව තරග තීරකවරයා කණ්ඩායම් දෙකෙහි කළමනාකාරීත්වය ලිඛිතව දන්වා තිබිණ. ඒ අනූව, ඔවුන් දෙදෙනා දින 14ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්වේ නිරවද්‍යතාව පිළිබඳව පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. ඒ වන තෙක් අකිල ධනංජයට හා කේන් විලියම්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු යැවීමේ හැකියාව තිබෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ. මේ වන විට 25 වැනි වියෙහි පසුවන අකිල එක්දින තරග 36ක දී හා ටෙස්ට් ක්‍රිකට් තරග 6කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. ඔහු ටෙස්ට් කඩුලු 33ක් දවාගත් අතර, නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගයේ ඉනිම දෙකේ දී අකිල කඩුලු 6ක් දවා ගත්තේය.
    අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ල කළ දෙවැනි අවස්ථාව මෙයයි. 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහුට තාවකාලික තරග තහනමක් පැනවුණේ එම ඉරියව්ව නීති විරෝධී බවට තහවුරුවීමත් සමගයි. නමුත්, අනතුරුව අකිල තම පන්දු යැවිමේ පරීක්ෂණයකට මුහුණ දුන්නේය. ඒ අනූව, මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඔහුගේ පන්දු යැවීම නිවැරදි බවට ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යළිත් වරක් අකිල ධනංජජයට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු යැවීමේ අවස්ථාව ලබාදුනි.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 12:41

    Latest News